ජනපති පොදු සමා අනුමැතිය නොමැතිව අනුරාධපුර බන්ධනාගාරයේ තවත් සිරකරුවන් තිදෙනෙකු අනීතික ලෙස නිදහස කර ඇති බවට මේ වන විට සිදුකළ තිබෙන විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත ඊයේ (ජූනි 11) දැන්වීය.
සිරකරුවන් අනීතික ලෙස නිදහස් කර හැරීමේ සිද්ධියට අදාල විශ්මජනක කරුණු රැසක් ඉදිරියේදී අනාවරණය වීමට නියමිතව ඇති බව ද ඔහු අධිකරණය හමුවේ පැවසීය.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි මූල්‍ය වංචා සිද්ධියකට සම්බන්ධ සිරකරුවෙකු ජනපති පොදු සමාව අවභාවිත කරමින් නීති විරෝධී ආකාරයෙන් නිදහස් කර ඇතැයි කියන සිද්ධියට සම්බන්ධ නඩුව ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී සොලිස්ටර් ජනරාල්වරයා මේ බව පැවසීය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වැඩ තහනමට ලක්ව සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ට ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය ඔහු මෙම මස 25 වන දා දක්වා තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළාය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ දිලීප පීරිස් මෙසේ පැවසීය.
ස්වාමිනී, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 28ක් පවතිනවා. ඒ බන්ධනාගාර 28 තුළ සිටින සිරකරුවන් රජයේ විශේෂ දවස්වලදී නිදහස් කරනු ලබනවා, ඒ දවස් නම් නත්තල්, වෙසක්, ජාතික නිදහස් දිනය ලෙස කියන්න පුළුවන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියට යටතේ ජනාධිපතිවරයාට හිමිවන බලතල අනුව සමාව සිරකරුවන්ට හිමි වෙනවා. ඒ අනුව මෙම ජනාධිපති පොදු සමාව හිමිවන ආකාරයන් කොටස් හතරක් යටතේ දක්වා තිබෙනවා,
2025/5/12 නිකුත් කළ ඇති චක්‍ර ලේඛනය අනුව සියලු ම සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමේ ක්‍රියාවලියේදී කොටස් හතරකට අයත් වෙනවා, ඒවා නම් සැකකරුවන් හට වසරක සිර දඬුවමක් හිමිවී එය අවසන්වීමට සතියක කාලයක් තිබේනම් ඔවුන්ට ජනාධිපති සමාව හිමි වෙනවා. දෙවන පිරිස වන්නේ දඩ මුදල් නියමවී එය ගෙවීමට අපහසු වීම හේතුවෙන් සිරගත කළ ඇති සිරකරුන්හට ඔවුන්ට ජනාධිපති සමාව යටතේ ගෙවීමට ඇති දඩ මුදල් ශේෂය අහෝසි කරනවා, තුන්වන කාණ්ඩය වන්නේ දඩ මුදල් භාගයක් ගෙවා තිබෙනවා නම් ඉතුරු දඩ මුදල් ශේෂය අහෝසි කර සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරනවා, හතර වෙනි කාණ්ඩයේ වන්නේ වසර තිහකට අධික කාලයක් බන්ධනාගාර දඬුවම් හිමිවී තිබේ නම් වසර විස්සක් අවසන් කර තිබේ නම් ඉතිරි අවුරුද්දක කාලය ජනාධිපති සමාව යටතේ අහෝසි කරනවා”
“ස්වාමිනී මේ ආකාරයටයි ජනාධිපති සමාව හිමිවන්නේ, දිවයිනේ තිබෙන බන්ධනාගාර 28න් ඒ ඒ බන්ධනාගාර අධිකාරිවරු විසින් ජනාධිපති සමාව හිමිවන සිරකරුවන්ගේ ලැයිස්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරනවා. ඒ ලැයිස්තුව තමා මෙම සැකකරු විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරන්නේ, ඊට පස්සේ මේම ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා”
පසුගිය වෙසක් දිනයට මේ ආකාරයට 388 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් යවා තිබෙනවා. ඒ ලැයිස්තුවේ මෙම ප්‍රශ්නගත සිද්ධියට අදාළ අතුළ තිලකරත්න යන විත්තිකරුගේ නම සඳහන්ව නැහැ, “
මෙම විත්තිකරු මහාධිකරණ විනිසුරුතුමා විසින් නියම කළ ලක්ෂ විස්සක දඩ මුදල ගෙවීමට නොහැකිවීම නිසයි වන්දියක් ලෙස මෙලෙස බන්ධනාගාරගත කර තිබෙන්නේ, මෙලෙස ක්‍රියා කිරීම වින්දිතයාට කර තිබෙන අසාධාරණයක්. අධිකරණයේ වරදකරුකර විනිසුරුතුමා ඇතුළට දාන විත්තිකරු බන්ධනාගාර රජ්ජුරුවන්ගෙන් නිදහස ලබාගෙන එළියට එනවා”
ස්වාමීනී, පසුගිය වෙසක් පොහොය දින අනුරාධපුර බන්ධනාගාරයෙන් ජනාධිපති පොදු සමාව හිමිවන සිරකරුවන් 36 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් සැකකාර බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර තිබෙනවා, පසුව මෙම සැකකරු විසින් එම ලියුම අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබීමට සලස්වෙනවා” ඒ අනුව එම සිරකරුවන් 36 දෙනාට ජනාධිපති සමාව ලබාදුන් බවට අනුමැතිය ලත් ලිපියක් සැකකාර කොමසාරිස් ජනරාල්වරයාට එවා තිබෙනවා.
ස්වාමිනී, නමුත් මෙම සැකකරු විසින් නැවත අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට යවන ලිපියේ සැකකරුවන් තිස් හය දෙනාට අමතරව තවත් එක් සැකකරුවගේ නමක් සඳහන් කර තිබෙනවා, එවිට ස්වාමීනි මුළු සිරකරුවන් සංඛ්‍යාව තිස් හතක් වෙනවා. අනුරාධපුර බන්ධනාගාර අධිකාරියාවට යවා තිබෙන ලිපියේ, ඒ සැකකරුට ජනාධිපති පොදු සමාවක් හිමිව නැහැ. ජනාධිපතිවරයා සමාව ලබා දීලා තිබෙන්නේ තිස් හය දෙනෙකුට පමණයි. මේ කරල තියෙන්නෙ මොහුගේ බලතල පාවිච්චි කරලා කූට ලේඛන සැකසීමක්.
ස්වාමීනී, බන්ධනාගාරයේ නඩුව අහල තමයි මෙම සිරකරුවන් ජනාධිපති පොදු සමාව ලැබීමෙන් පසු නිදහස් වෙලා තියෙන්නේ, පෙරේදා (ජූනි 10) වනතුරු කරන ලදී විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා මෙම සැකකරුට අමතරව තවත් සැකකරුවන් තිදෙනෙක් ජනාධිපති පොදු සමාව යටතේ ඉකුත් වෙසක් පොහොය දින නිදහස් වෙලා තියෙනවා කියලා, ස්වාමීනි, ලංකාවේ සියලු බන්ධනාගාර ගැන අපි විමර්ශනය කරනවා මොකද, ඔවුන් වෙන ම රාජ්‍යයක් හදාගෙන රජ්ජුරුවෝ වගේ තමන්ගේ අභිමතය පරිදි සිරකරුවන්ට සමාව දීලා තිබෙන බව අනාවරණය වෙනවා.
වෙසක් පොහොය නිමිත්තෙන් අප්‍රේල් 22 වන දා තමා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ යුතු සිරකරුවන් පිළිබඳව ලේඛනය කැඳවා තිබෙන්නේ, මෙම සිද්ධියට අදාළ සැකකරු මැයි 2 වන දා තමා බන්ධනාගාරගත වෙන්නේ. එසේ බන්ධනාගාර ගත වෙන සිරකරුවා 12 වන දා ජනාධිපති පොදු සමාව යටතේ එළියට එනවා”
මෙම සැකකරු මූල්‍ය වංචාවකටයි සිරගත වෙලා සිටියේ එම ඔහු බන්ධනාගාරයේ ඇතුළේ සිටිය නම් කොටස් වශයෙන් හරි වින්දිතයන්ට දඩ මුදල් ගෙවන්න තිබුණා, නමුත් දැන් මෙතන වින්දිතයන්ටත් වෙලා තියෙන්නේ අසාධාරණයක්, දැන් වින්දිතයන්ට දඩ මුදල් ගෙවන්නේ නැතුව මොහු නිදහස් වෙලා, බන්ධනාගාර අධිකාරිවරුන් අපරාධකරුවන්ට සහන ලබා දෙනවා.
ස්වාමීනි 2024 වසරේදී සිරකරුවන් 257ක් මේ වන විට නිදහස් කර තිබෙනවා, මෙම පුද්ගලයන් නිදහස හිමි වූ සැකකරුවන් ලේඛන ගතවෙලා තිබෙන්නේ යොමු අංකවලින් පමණයි. ඔවුන්ගේ නමක්, වරද, දඩුවමේ ස්වභාවයක් කිසි ම තැනක සඳහන් වෙලා නැහැ, මේ සියල්ල වංක ස්වභාවයෙන් තම අභිමතය පරිදි කරපු දේවල්, ඒ ලේඛන කවද හරි ඕන වෙයි කියලා හිතාගෙන තමයි යොමු අංක දාලා මේ විදියට පවත්වාගෙන ගොස් තිබෙන්නේ, මේවා මේ රාජ්‍ය ආයතනවල පවත්වාගෙන යන ආකාරයේ ලේඛන නෙවෙයි.
ස්වාමිනී, අධිකරණ මගින් මගින් නඩු අසා වරදකරුවන් කර සිරගත කරන සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමේ ක්‍රියාවලිය තිබිය යුතුයි එය මගේ පෞද්ගලික ලෙස උසාවියට දැනුම් දෙනවා. ස්වාමීනි මේ ජනාධිපති පොදු සමාව හිමිවන බොහෝ සිරකරුවන් මහේස්ත්‍රාත් අධිකරණවලින් දඬුවම් ලැබූ සිරකරුවන්, මහාධිකරණ සහ ඉහල සෙසු උසාවිවලින් දඩුවම් ලබා සිටින්නේ සුළු පිරිසක්, එතකොට මේ බන්ධනාගාර නිලධාරීන්ට ඒ ඒ ප්‍රදේශවලට අයත් බන්ධනාගාරවල සිටින සිරකරුවන් නිදහස් වීම පිළිබඳව මහේශාත් වරුන් දැනුවත් කිරීම කළ හැකියි ඒත් මොවුන් එය නොකරන්නේ, ඔවුන් තමුන්ගේ ඒකාධිපති ආධිපත්‍යය බන්ධනාගාරය තුළ පවත්වාගෙන යෑමටයි.
ස්වාමීනි, මෙම ක්‍රියාවලිය බූවල්ලගෙ ක්‍රියාවලියක් වගේ, මහ මොළ කරු ඇතුළේ හිටියට ඔහුගේ අඬු වටේ ම තිබෙනවා, ඔවුන් මීට අදාළ සාක්ෂි විනාශ කරන්න කටයුතු කරන්න පුළුවන්, ස්වාමීනි මෙම ක්‍රියාවලිය අතිශය භයානක ක්‍රියාවලියක්. කවදා ඉඳන් ද මේ ක්‍රියාවලිය සිදුවන්නේ මෙය අවුරුදු ගණනාවක් තිස්සේ සිදුවන ක්‍රියාවලියක්. මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව නිලධාරීන්ට මට කෙටි දිනකින් ඉවර කරන්න බැහැ. අපි යාන්ත්‍රිකයො නෙමෙයිනේ. ඉදිරි දින නඩු දිනයේදී ඔබතුමිය විශ්මයජනක වන නඩු ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කිරීමට මම සූදානම්. ඒ නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මම ඉල්ලනවා”
අධිකරණ අමාත්‍යාංශය කියන්නේ රටේ පවතින සුවිශේෂී ආයතනයක් මේවා රාජ්‍ය ආයතන, මහජන සල්ලි වලින් තමා මේ වගේ නඩත්තු කටයුතු සිදු කරන්නේ.මෙම සිද්ධිය පමණක් නොව ලංකාවම පුරා මීට පෙරද සිරකරුවන් 68 දෙනෙකු තම අභිමතය පරිදි අදාළ බන්ධනාගාර අධිකාරිවරුන් විසින් නිදහස් කර තිබෙනවා, එම බන්ධනාගාර අධිකාරවරුන් පිළිබඳවත් අපි විමර්ශනය කරලා වාර්තා ඉදිරිපත් කරනවා, සියලු බන්ධනාගාර අධිකාරීවරුන් ඒ පිළිබඳව සැලකිලිමත්ව සිටීම වැදගත්” ලෙස අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා වැඩිදුරටත් කරුණු දැක්වෙමින් අධිකරණයට දැන්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මෙසේ පැවසීය.
ජූනි 6 වන දා “මව්බිම” ජාතික පුවත්පත වාර්තා කර තිබුණා ජනපති සමාව හිමි නොවූ සිරකරුවෙකුට අනුරාධපුර බන්ධනාගාරයෙන සමාව ලබා දීලා කියන කාරණය. අනුරාධපුර මහාධිකරණයේ තිබූ නඩුවකට අදාළ සැකකරු ලක්ෂ විස්සක වන්දියක් නොගෙවීම නිසා ඔහුට මාස 6යක සිර දඩුවම් නියම තිබුණා, ඉකුත් වෙසක් පොහොය දා ජනාධිපති පොදු සමාව යටතේ මෙම සිරකරු නිදහස් කර තියෙනවා, ස්වාමීනි ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමේ සිරකරුවන් 388 යටතට මෙම සැකකරු සඳහන් වන්නේ නැහැ, එසේ වීමට හේතුව රජය මඟින් නිකුත් කර තිබූ බන්ධනාගාර සිරකරුවන් නිදහස් කිරීමේ චක්‍ර ලේඛනයට අදාළ බන්ධනාගාර අධිකාරිවරයාට පවතින බලතල අනුව නම් කරන ලද සිරකරුවන්ට අමතරව නිදහස් වීමට හැකි සිරකරුවන් නිදහස් කිරීමට හැකි බව දක්වා තිබීමයි.
නමුත් ස්වාමීනි එම චක්‍ර ලේඛනයේ කිසියම් සිදුවීමක් සිදුවුවහොත් බන්ධනාගාර අධිකාරිවරයා විසින් නිදහස් කරන ලද සිරකරුවන් පිළිබඳ සියලු වගකීම ලබා ගත යුතු බව එහි දක්වා තිබෙනවා, එම කරුණින්ම පැහැදිලි වෙනවා ස්වාමීනි මගේ සේවාදායකයා බන්ධනාගාර කොමසාරිස්වරයා මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බව “
ස්වාමීනි මෙම සිද්ධියට, මගේ සේවාදායකයා විතරක් නෙවෙයි අධිකරණ අමාත්‍යවරයා පවා සැකකරුවෙක් වෙනවා. 388 ක නම් කරන ලද සිරකරුවන් ලැයිස්තුව ඇතුළත් ලේඛනය අධිකරණ අමාත්‍යවරයා හරහා ජනාධිපති ලේකම් වරයා වෙත යොමු කිරීම සිදුවන නිසා, ජූනි 7 වන දා බෝගම්බර බන්ධනාගාරයට ලිපියක් යවලා තියෙනවා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්න කියාලා”
” ස්වාමීනි මගේ සේවාදායකයා මෙම ක්‍රියාවට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නැහැ , ස්වාමීනි සාමාන්‍යයෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කර තිබෙනවා, මගේ සේවා දායකයාගේ වැඩ තහනම් කරලා තිබෙන්නේ එම නිසා ඔහුට විමර්ශනවලට කිසිදු බලපෑමක් සිදු කිරීමට හැකියාවක් නෑ, එම නිසා සුදුසු යැපයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් මම ඉල්ලනවා” යනුවෙන් සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ මෙම සැකකරු 25 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
මව්බිම