චන්ද්‍රාණී බණ්ඩාරටත් අධි චෝදනා

චන්ද්‍රාණී බණ්ඩාරටත් අධි චෝදනා

පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට හිටපු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාරදීම සිදුවුණා.

ඉන් අනතුරුව විත්තිකාරියගේ ඇඟිලි සලකුණ ලබාගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරයා විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.

එහිදී විත්තිකාරීය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවේට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන මෙම අධි චෝදනා සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා.

ඒ අනුව මෙම නඩුකරයට අදාළ ඇමුණුම් විත්තිකාරියට භාරදීම සඳහා නඩුව නැවතත් ලබන 20 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කර සිටියා.

ඒ අනුව විත්තිකාර හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ චෝදනා 11 ක් එල්ල කර තිබෙනවා.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25 ක් ද නඩුව සමග ඉදිරිපත් කර තිබෙනවා.

Search