ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය දිගු කාලයක් පුරා පවත්වාගෙන යන දේශීය වානිජ කර්මාන්තයක් බවත් මෙම කර්මාන්තය ආශ්‍රිතව සිය ජීවනෝපය සකසා ගත් පවුල් 250000කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් වත්මන් රජයේ බදු ප්‍රතිපත්තියේ අසමානතා හේතු කර ගෙන දේශීය සීනි නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දැඩි අභියෝගයන්ට මේ කර්මාන්තය මුහුණ දී ඇති නිසා දේශීය සීනි නිෂ්පාදනයේ වත්මන් තත්ත්වය ආනයන බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගැටලු රැසක් ඇති නිසා ඒ සම්බන්ධයෙන් රජයෙන් විමසා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මෙරට සීනී කර්මාන්තය සිය ජීවනෝපාය කර ගත් ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
ලංකා සීනි සමාගමට අයත් ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සීනි කර්මාන්තශාලා ගණන, ඒ ඒ එක් එක් කර්මාන්තශාලාවලින් වාර්ෂිකව සිදු කරන නිෂ්පාදන ප්‍රමාණය සහ එම නිෂ්පාදනය මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් කොපමණ ප්‍රතිශතයක් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ අනුව මෙරට වාර්ෂිකව ආනයනය කරන සීනි ප්‍රමාණය සහ ආනයනය කරන සීනි කිලෝවත් මත පනවන බදු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
දේශීය සීනි සදහා වැට් බදු ගසා ඇත්තේ ඇයි ?
දේශීයව නිෂ්පාදනය කරන සීනි කිලෝවක් සදහා පනවන බදු ප්‍රමාණයත් ආනයනික සීනි වැට් බදුවලින් නිදහස් කිරිමටත් දේශීය නිෂ්පාදනය කරන සීනි සදහා වැට් බදු පැනවීමටත් බලපෑ හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් ආනයනික සීනි කිලෝවක් සදහා රුපියල් 50ක් අය කළත් දේශීය නිෂ්පාදනවලට 18%ක වැට් එකක් පනවා ඇති නිසා නිෂ්පාදන පිරිවැය රු. 237ක් වුවත් වෙළෙදපොළට ලබා දෙන්නේ රු. 175කට බවත් එය ලොකු අලාභයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
පාඩු ලබන සීනි සමාගම් දියුණු කරන්න රජයට ඇති පියවර කවරේද?
ලංකා සීනි සමාගමට අයත් සීනි කර්මාන්තශාලා දැනට පාඩු ලබන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ලැබී ඇති තොරතුරු අනුව ගල්ඔය රු. බිලියන 17ක්, ඇතිමලේ බිලියන 7ක්, පැල්වත්ත බි.10ක්, සෙවනගල නැවත ප්‍රතිනිර්මාණය කළ යුතු බවත් මේ පාඩු සම්බන්ධ රජය සතු දත්ත ඉදිරිපත් කරන ලෙසත් මේ කර්මාන්තශාලා ලාභ ලබන ආයතන බවට පත් කිරිමට ඇති වැඩපිළිවෙළ දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන එතනෝල් අලෙවියෙන් පාඩු ලැබීමට හේතු මෙන්ම එම පාඩු ලැබීම අලෙවි කිරීමට ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙසත් අද ලීටරයකට රු. 450ත් 475ත් මුදලක් ගියත් නිෂ්පාදන පිරිවැය රු. 628-750ත් බවත් එම නිසා අවම මිල රු 800ක් විය යුතු බවත් ගිය වසරේ රු 1500ක මුදලක් ලැබුණු බවත් එතනෝල් ප්‍රවර්ධනය නොකළත් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ දී මෙය වැදගත් බවත් මෙය ඌව වෙල්ලස්ස ජනතාවගේ ජන ජීවිතයට සම්බන්ධ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
එමෙන් ම ලාභායෙන් 30%ක් සීනිවල බදුගන්නා බවත් එතනෝල්වල ලාභායෙන් 45%ක් බදු ගන්නා බවත් ඊට අමතරව මොලෑස් මෙට්‍රික් ටොන් එකකින් රු. 10000ක් බදු ගන්නා බවත් මේ නිසා අවසානයේ පීඩාවට පත් වන්නේ ගොවි ජනතාව බවත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසත් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.