ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

මැද පෙරදිග කලාපයේ උද්ගතවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ

ඊශ්‍රායලය වෙත යම් ප්‍රහාරයක් එල්ලවේ යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හා පවතින සැකය මත මේ වනවිට ඊශ්‍රායල හමුදාව සීරුවෙන් තබා ඇත. 

මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ අවදානම්කාරී වාතාවරණයක් නැවත ඇතිවුවහොත් ඔක්තෝම්බර් 7 වනදා ඇතිවූ  හමාස් ප්‍රහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ ආකාරයට තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ඇති බවය.

එසේම එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යම් හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

එම ක්‍රියාමාර්ග පහතින්,

1. ඉතාමත් අත්‍යාවශ්‍ය හේතුවකට හැර තමා සේවය කරන නිවස, සේවා ස්ථානය, වගාබිම් හෝ තමන් පදිංචි ස්ථානයෙන් බැහැර නොයන්න.

2. රෝගී තත්ත්වයන් හේතුවෙන් ඖෂධ හා එන්නත්  ලබාගන්න පිරිස දින ගණනාවකට අවශ්‍ය බෙහෙත් රැස්කර තබා ගන්න. 

3. වියලි ආහාර හා බීමට අවශ්‍ය ජලය රැස්කර තබා ගන්න.

4. වගකීම් විරහිතව සමාජ මාධ්‍යය ඔස්සේ ඡායාරූප, වීඩියෝ, විස්තර කථනයන් කිරීමෙන් වැලකි සිටින්න. සංවේදී වීඩියෝ හා ඡායාරූප එයට යැවීමෙන් වළකින්න. 

5. සමහර විට අත්තර්ජාල, දුරකථන සේවා, GPS  මග පෙන්වන සේවාවන් විටින් විට ක්‍රියාවිරහිත විය හැක, එබැවින් තමන්ගේ හිතවතුන්ගේ දුරකථන ක්‍රියා විරහිතවී ඇති බව පවසමින් අනවශ්‍ය ලෙස කළබලවීමෙන් වළකින්න. 

6. සෑම නිවසකම, වැඩබිමකම ආරක්‍ෂිත කාමර හා නිවස්නයන් තිබෙන බැවින් අනතුරු ගැන්වීමේ නලා හඬ ඇසුණහොත් ආරක්‍ෂිත ස්ථානයකට යාමට වග බලා ගන්න. 

7. වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් රැක බලාගන්නා පිරිස හදිසියකදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් වන්න. පවතින තත්ත්වය පිළිබඳව ඔබව නිරන්තරයෙන් දැනුවත් කිරීමට තානාපති කාර්යාලයේ නිලධාරීන් සුදානමින් සිටිති.

(Ada derana)

Search