උතුරු නැගෙනහිර පළාත්වල මියගිය LTTE සාමාජිකයින්
සිහිපත් කරමින් මෙතෙක් පැවැත්වූ "මහ විරු සැමරුම් උත්සව" සම්බන්ධයෙන් සිදුකළ පූර්ණ විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
මහා විරු සැමරුම් උත්සවවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට ඒවා තහනම් කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු වන ආනන්ද ජයමාන මහතා විසින් ගොනුකළ රිට් පෙත්සමක් ඊයේ (21) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම දැනුම්දීම සිදු කළේය.
අදාළ පෙත්සම එස්. යූ. බී. කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදි.
මෙම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරයා අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමින් උතුරු නැගෙනහිර පළාත්වල ඉකුත් නොවැම්බර් මස පැවැති මහා විරු සැමරුම් උත්සවවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබුණි.
ඒ අනුව අදාළ පෙත්සම ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ නීතිපතිවරයා විසින් එවැනි ප්‍රතිඥාවක් ලබාදීම හේතුවෙන් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවය.
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් පෙත්සම්කාර පර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත්වල මෙතෙක් පැවති මහා විරු සැමරුම් උත්සව සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය සිදුකළ පරීක්ෂණවල පූර්ණ වාර්තාවක් තමා අධිකරණයට ඉදිරිපත් කිරීමට අදහස් කරන බවත් ඉන් පසුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන ඉල්ලීම සලකා බලන ලෙසය.
ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධිකරණය හමුවේ ගොනුකරන ලෙස රජයේ නීතිඥවරයාට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් වූ ඉල්ලීම සලකා බලන බවත් නියෝග කෙරුණි.
(Ada derana)