ගෝඨා ගෝ ගමට පහරදුන් අය තවම අත්අඩංගුවට නොගන්නේ ඇයි ? රුවන් අසයි

ගෝඨා ගෝ ගම ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් පමණක්

අත්අඩංගුවට ගැනීමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසනවා.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා ඇත්තේ ගෝඨා ගෝ ගම අරගලකරුවන් සමඟ සාකච්ඡා කරමින් විසඳුමක් සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමාට පුළුල් වගකීමක් පවරා ඇති බැවින් ගෝඨා ගෝ ගමට පහරදීමට අදාල ප්‍රධාන සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට හේතු මෙන්ම අදාල විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව ද කඩිනමින් කරුණු හෙළි කරන ලෙස යි.

නිරායුධ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ද පසුගිය දිනෙක ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රසිද්ධ කාරණයක් බවත් එම සිද්ධියට සම්බන්ධ ප්‍රහාරකයන් පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලීසියේ කාර්යක්ෂම සේවය අගය කරන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා ලිපියෙහි දක්වා ඇත.

කෙසේ නමුත්, නිරායුධ අරගලයට පහරදීමේ සිදුවීමට දින ගණනාවක් ගත වී ඇතත් ඊට සම්බන්ධ එක් අයෙකු පමණක් ඊයේ (15) උදෑසන අත්අඩංගුවට ගත්ත ද අනෙක් ප්‍රධාන සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වීම අතිශය කණගාටුදායක තත්ත්වයක් බව ද ඔහු සඳහන් කර තිබේ.

Search