සිවදීපන්
සිවදීපන් උඹෙ සීතල අත දීපන්
කරෙයි නගරයේ තල් පත් දෙවැට මතින්
මං එන විට මට අමුතු අසිංහල
මධු ගී සරයෙන් - අමු හසරැල්ලෙන්
ආයෙත් වෙඩි තියපන්!
පුස්තකාලයෙන් කීරමලෙයි පොකුණෙන්
තවමත් ඇහෙනා මිමිණුම් රාවෙන්
මා ගලවාගෙන චැලියෙන් එක්ක ගිහින්
තල් රා පෙම් ශ්‍රාවය මට බොන්න දියන්
බුදුවරු සහ දෙවියන් වැඩ වසනා
අල්තාරය යට පිච්ච පලස එලපන්
භූමිය බස නොතකන මනු සුවඳින්
මගේ ආත්මය වසඟෙට අරගෙන
කටරොළු පැහැ ඇති හිම කිරමක
ඔය සිනහව දිය කරපන්!
යාපනයේ කඩ මණ්ඩිය අයිනෙන්
ආදරයේ මිදි පැසක් අරන් දී
කසුරීනාවේ නිල් රැල්ලක් මෙන්
ආපහු සැරයක් වැළඳ ගනින්!
-ලක්ශාන්ත අතුකෝරල