නිරෝධායන නීති කඩ කරමින් උපන්දින සාදයකට සහභාගිවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇපමත නිදහස් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා රැගෙන යමින් සිටි නිරූපණ ශිල්පී පියුමි හංසමාලි ඇතුළු පිරිස නැවත රැගෙන එන ලෙසට තමන් කිසිදු බලපෑමක් සිදු නොකළ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
පියුමි හංසමාලි ඇතුළු පිරිස නිදහස් කර ගැනීම සඳහා බලපෑම් සිදුකර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.
පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ සිදුකළ ඉල්ලීමකට අනුව තමා, අදාල පිරිස සම්බන්ධයෙන් සානුකම්පිතව බලා කටයුතු කරන්නැයි පොලිස්පතිවරයාගෙන් හා බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, කිසිදු බලපෑමක් සිදු නොකළ බවත් ඇමතිවරයා අවධාරණය කරනවා.
පෙර දැනුම්දීමකින් තොරව නිරෝධායනය සදහා රැගෙන යන බැවින් අමතර ඇඳුම් ආදිය රැගෙන යාමට අවස්ථාවක් ලබාදෙන්නැයි පියුමි හංසමාලි ඇතුලු පිරිසගේ ඉල්ලීම වූ බවත් එම ඉල්ලීමට අවශ්‍ය උපදෙස් පොලිස් නිළධාරින් වෙත ලබාදුන්නා මිස වෙනත් කිසිදු උපදෙසක් සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් ලබා නොදුන් බවත් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එබැවින් පියුමි හංසමාලි ඇතුලු පිරිස නිරෝධායනය සදහා රැගෙනයමින් සිටි බස් රථය ආපසු ගෙන්වා ගැනීම සඳහා සරත් වීරසේකර මහතා විසින් පොලිසියට නියෝග කළ බවට විවිධ පාර්ශව එල්ල කරන චෝදනා අසත්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරනවා.
Lanka News Web