කාබනික පොහොර ආනයනය මුවාවෙන් චීනයේ නාගරික කසළ ගෙන්වීමේ සුදානමක් (VIDEO)

කාබනික පොහොර ආනයන කිරීමට යැයි කියමින් රජය සූදානම් වන්නේ සිය ගජමිතුරු ව්‍යාපාරිකයින් හරහා චීනයේ නාගරික කසළ මෙරටට ගෙන්වීමට

බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

"කාබනික පොහොර ලබාදීම සඳහා යාන්ත්‍රණයක් හැදිය යුතුව තිබුණා. මේ තීන්දුව ගන්න කලින් බලන්න ඕනෙ කාබනික පොහොර සම්බන්ධයෙන් අපෙ රටේ කරලා තියෙන පර්යේෂණ මොනවද කියලා. ඉතාම කණගාටුයි කියන්න ලංකාවේ රජය පිළිගත් කිසිදු විශ්ව විද්‍යාලයක් හෝ රාජ්‍ය ආයතනයක් කාබනික පොහොර ලබාදීම පිළිබඳව මෙතෙක් කිසිදු පර්යේෂණයක් කරලා නෑ. ඒක තමයි තත්වය.

ඉතිං රජයක් විදියට මේ තීන්දුව ගනිද්දී එවැනි පර්යේෂණයක් කරලා කොයි තරම් ප්‍රමාණයකට නයිට්‍රිජන් අවශ්‍යද, ඒ අවශ්‍ය නයිට්‍රිජන් ප්‍රමාණය කොහොමද ලබාදෙන්නෙ, කාබනික පොහොරවලින් කොහොමද ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරන්නෙ, ඊට සරිලන පරිදි කාබනික පොහොර කොහොමද නිෂ්පාදනය කරන්නෙ ... එවැනි වැඩපිළිවෙලක් ඇතුව තමයි මැදිහත් වෙන්න ඕනෙ. ඒ පිළිබඳව ගැටළුවක් නෑ, කාබනික පොහොර ලබාදීම ඉතාම සුදුසුයි. ප්‍රශ්නෙ තියෙන්නෙ කාබනික පොහොර නෑ. කොහෙන්ද ගොවියා කාබනික පොහොර ගන්නෙ ?

දැන් ආණ්ඩුව තීරණය කරනවා, මං දැක්කා ජනාධිපතිතුමා කියනවා කාබනික පොහොර නැත්නම් ආනයනය කරන්න කියලා. මෙතන තමයි බරපතළ ප්‍රශ්නය තියෙන්නෙ. දැන් මේ කාබනික පොහොර පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවලා තියෙනවා. එහි ඉන්නවා සාමාජිකයො 46 දෙනෙක්. විවිධ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය ගැන දැනුම තියෙන ආචාර්ය මහාචාර්යවරුත් ඉන්නවා ඒ අතරෙ. ඒවගේම තේ කර්මාන්තයට සම්බන්ධ අයත් ඉන්නවා. ඒ අතරතුරේ හිතාගන්න බැරි විවිධ අයත් ඉන්නවා. දිල්හාන් ප්‍රනාන්දු මැතිතුමා, ප්‍රධාන විධායක නිලධාරී - ඩිල්මා සිලෝන් ටී කම්පැනි. හරි. මොහොමඩ් අනීස් ජුනයිඩ් මැතිතුමා, එතුමාත් ඉන්නවා. දිලිත් ජයවීර මැතිතුමා, සභාපති - දෙරණ මාධ්‍ය ජාලය. විජිත් වැලිකල මහතා, සභාපති - වයිල්ඩ් හොලිඩේස් පුද්ගලික සමාගම. ඉතිං මෙවැනි අයත් ඉන්නවා.

දැන් මොකක්ද මේ කරන්නෙ යන්නෙ ? පිටරටින් කාබනික පොහොර ආනයනය කරන්න. කාබනික පොහොර ආනයනය කරනවා කියලා කොහෙන්ද ගේන්න යන්නෙ ? චීනයේ නාගරික කසළ. ඒවා මේ කාබනික පොහොර නෙවෙයි. ඇත්තම ගත්තොත් අපට ආරංචි වෙන්නෙ එහෙන් කොම්පෝස්ට් පොහොර ගේන්න හදනවා කියලා, කවුරුත් දන්න දේ තමයි චීනය නාගරික කසළ බැහැර කරලා ඒ කසළ උඩට යූරියා ඉහළා, ඒ කන්ටේනර් ටැංකිවලට යූරියා ස්ප්‍රේ කරලා ඒක තමයි ඔන්න දැන් නයිට්‍රිජන් ප්‍රමාණය මේවායෙ තියෙනවා කියලා ලෝකෙ බොහෝ රටවලට කාබනික පොහොර හැටියට යවන්නෙ. දැන් මේ ලෑස්ති වෙන්නෙ අහිංසක ගොවියාට කාබනික පොහොර දෙන්න කියන ඇත්ත වුවමනාව පාවිච්චි කරලා මේ කොරෝනා අස්සෙ තවත් හොර ජාවාරමක් පටන් ගන්න. අපෙ පරිසරයට උචිත නැති, අපෙ පසට උචිත නැති, විවිධ ආක්‍රමණශීලී ශාඛවල බීජ පවා මේත් එක්ක එන්න පුළුවන්. කාබනික පොහොර කියලා චීනයේ හෝ වෙනත් රටක නාගරික අපද්‍රව්‍ය මෙරටට ගෙන්වන එක අනුමත කරන්න බෑ, ඒ අපරාධය මේ රටට කරන්න එපා. එක පැත්තකින් තමන්ගෙ චෞර වළල්ලේ කට්ටිය දාගෙන පොහොර ආනයනය කරන්න ඒගොල්ලන්ට ඉඩදෙනවා, අනිත් පැත්තෙන්ට අර රටවල් වලින් බැහැර කරපු පරිසරයට හානිකර විවිධ දේවල් අඩංගු ද්‍රව්‍ය අපේ රටට ගෙන ඒම සිද්ධ වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (30) ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Lanka News Web

 

Search