යෝජිත පෝට් සිටි කොමිසමට ඒකාධිපති බලයක් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කිරීමක්

යෝජිත කොළඹ වරාය නගර කොමිෂන් සභාව, රටේ පවත්නා බොහෝ අණ පනත් ඉක්මවා ගිය පාර්ලිමේන්තුවට, රජයට හෝ අධිකරණ පද්ධතියට වග නොකියන සර්ව බලධාරි කොමිෂන් සභාවක් බව නීතිඥයින් අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

ඔවුන් ප්‍රකාශ කළේ රට තුළ ක්‍රියාත්මක මූල්‍ය නීති නොතකා සිය අභිමතය පරිදි මූල්‍ය පාලනයක් ගෙන යෑමට කොළඹ වරාය නගර කොමිෂන් සභාවට බලය පැවරීමෙන්, මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කරන නිදහස් පාරාදීසයක් බවට එය පත් වීමේ අනතුර සුළු කොට තැකිය නොහැකි බවය.

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව රැසක් ඉදිරිපත් කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී එම අදහස් පළ විය.

රටේ මූල්‍ය පාලන බලය හිමි පාර්ලිමේන්තුව පවා මගහැර, එම කොමිෂන් සභාවට ඒකාධිපති බලයක් හිමිකර දීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බව ද නීතිඥයින් පෙන්වා දුන්නේය.

ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ පළපුරුද්ද, වෘත්තිය සුදුසුකම් වෙනත් කිසිදු කරුණක් නොසලකා සිය අභිමතය පරිදි විජාතිකයින් එම කොමිෂන් සභාවට පත් කිරීමට පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයාට බලය හිමිකර දීම ඉතා අහිතකරවන බවය.

වරාය නගරය තුළ ආරම්භ කරනු ලබන කිසිදු ව්‍යාපාරයකින් හෝ නිවාස ව්‍යාපෘතියකින් බදු මුදල් ඇතුළු සෙසු බදු අය කර ගැනීමේ බලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවලට අහිමි වීම මගින් රටේ ආර්ථිකයට බලවත් පහරක් එල්ලවන බව ද අද (19) නීතිඥයින් පෙන්වා දුන් තවත් කරුණක් විය.

පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට(20) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය.

News First

Search