අයියලා මල්ලිලා බලලා ව්‍යවස්ථා හදන්න බැහැ : ආණ්ඩුවේ ඇතුලේ ගිනි අපි පිටට දෙන්නේ නැහැ - ගම්මන්පිල

ආණ්ඩුව ජනමත විචාරණයකට යාමේ සුදානමක් නැති

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර සිටිනවා නම් ජනමත විචාරණයකට යාමට සුදානම් බව අමාත්‍ය උදය ගම්මන්පිල පවස යි.

අද (29) පෙරවරුවේ කැබිනට් මණ්ඩල තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය තුනෙන් දෙකකින් සම්මත කිරීමට පෙර ජනමත විචාරණයකට යාමට ආණ්ඩුව සුදානම් ද යනුවෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසිය.

"සාමාන්‍යයෙන් ජනමත විචාරණයකට යොමු කරන පනත් කෙටුම්පත පුර්විකාවේ ජනමත විචාරණයකට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් වෙනවා. එහෙම වුනොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයකට ලක්කරන්නත් බැරිවෙනවා. එහෙම සඳහනක් නැහැනේ."

"ආණ්ඩුවේ බලාපොරොත්තුවක් නැහැ ජනමත විචාරණයක් සිදු කරන්න. ජනමත විචාරණයකට යොමු විය හැකි කාරණා 20 වැනි සංශෝධනයේ සඳහන් නොකළේ අපි බලාපොරොත්තු වෙනවා වසරක් ඇතුලත අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න. නව ව්‍යවස්ථාවක් පවතින ව්‍යවස්ථාවේ විධි විධාන අනුව අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතු යි. ඒ නිසා වසරක් ඇතුලත දෙවරක් ජනමත විචාරණ පවත්වනවා කියන්නේ මහජන මුදල් නාස්තියක්. ජනමත විචාරණයකට තුඩුදෙන කිසිදෙයක් 20 වැනි සංශෝධනයේ ඇතුලත් කරලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා නම් මෙය ජනමත විචාරණයකට තුඩු දෙනවා කියලා ඒ අනුව, අපි එය සංශෝධනය කරන්න සුදානම්."

මාධ්‍යවේදියකු : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කමිටුවේ වාර්තා 20 වැනි සංශෝධනයට ඇතුලත් කරලා නැහැ. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ගන්න ක්‍රියාමාර්ග මොනවා ද ?

විශාකාවගේ තාත්තා දුන් පලවෙනි අවවාදය තමයි දුවට ඇතුළු ගිනි පිටට නොදෙව් කියලා.

මාධ්‍යවේදියකු : ඒ කියන්නේ ඇතුලේ ගිනි තියෙනවා ?

අනිවාර්යයෙන්ම, ඇමති මණ්ඩලය ඇතුලේ දීර්ඝ සංවාදයක් ඇතිවුනා 20 වැනි සංශෝධනය ගැන. පාර්ලිමේන්තු කණ්ඩායම් තුල දීර්ඝ සංවාදයක් ඇතිවුණා. හැබැයි අපේ තීන්දුව ආණ්ඩුවේ තනි තීන්දුවක් හැටියට තමයි එලියට ගියේ.

මාධ්‍යවේදියකු : ජනාධිපතිවරණයේ දී ඔබතුමාගේ කණ්ඩායම කිව්වේ 19 වැනි සංශෝධනය කියන්නේ අයියයි මල්ලියි ආණ්ඩු කරන්න කියාපු සංශෝධනය කියලා. එහෙම නම් මේක මෙහෙමම තියාගෙන ගිහිල්ලා ව්‍යවස්ථාවක් හදන්න පුළුවන්නේ?

අයියලා මල්ලිලා බලලා ව්‍යවස්ථා හදන්න බැහැ. ටේලර් මේඩ් ඇඳුමක් වගේ නෙවෙයි ව්‍යවස්ථාව කියන්නේ. අර කඩෙන් ගන්න තියෙන ජාතියේ කමිසයක්. ඒ කියන්නේ ඕනෑම කෙනකුගේ ඇඟට හරියන විදියට ව්‍යවස්ථාව තියෙන්න ඕන. මහින්ද ගොටභය සුසංයෝගයට පමණක් ගැලපෙන ව්‍යවස්ථාවක් වෙන්න බැහැ .

 

tailor made 20

 

Search