ආණ්ඩු ගැති මාධ්‍ය 20 වැනි සංශෝධනය නමැති යක්ෂාගමනයට පාර කැපුවා! - බිමල්

 

"පාලක කල්ලි දක්ෂයි මිනිසුන්ගේ ප්‍රශ්නය ගසා කන්න. ගසා කාලා මිනිසුන්ගේ කැමැත්ත අරන් දෙනවා ඔවුන්ගේ ගැති ජනමාධ්‍ය හරහා"

 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නම් වූ යක්ෂාගමනය සඳහා ආණ්ඩු ගැති ජනමාධ්‍ය විශාල භූමිකාවක් දැරූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවස යි.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහා අද(23) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

"ආණ්ඩුව තුලම යම් යම් විරෝධතාවයන් තියෙනවා. ද්විත්ව පුරවැසිභාවය වගේ 20 වැනි සංශෝධනයේ පොඩි පොඩි පතුරුවලට විරෝධ අය ඉන්නවනේ. නමුත් පාර්ලිමේන්තු ඡන්දේ දී සියයට ගණන්වලට ඡන්දේ දෙන්න බැහැනේ. 30% එකඟයි 70% විරුද්ධයි කියන්න බැහැනේ. පාර්ලිමේන්තු ඡන්දෙදි අහන්නේ සංශෝධනයට එකඟ ද එකඟ නැති ද කියලා විතරයි."

රෙදි ඇඳගෙන ඡන්දේ දෙන්න බැරි පිරිසක් ඉන්නවා

"මම කියන්නේ රෙදි ඇඳගෙන 20 වැනි සංශෝධනය සම්මත කරන්න බැරි පිරිසක් ආණ්ඩු පක්ෂෙ ඉන්නවා. අපි දන්නවා. ඇත්ත ප්‍රශ්නේ ඒකයි. 18 වැනි සංශෝධනයට ඡන්දේ දීල අවුරුදු 3කට පස්සේ සමහර ඇමතිවරු තමන් ගත්ත තීරණයට සාප කළ බව අපි හොඳටම දන්නවා.18 ට අත උස්සපු එක ගැන තමන්ම කලකිරෙනවා කියලා කියපු ඇමතිවරු අපි දන්නවා. ඒ අය දැනුත් ඉන්නවා. ඒ අය බයට ඡන්දේ දෙනවා."

"සමහරු ඉන්නවා පොදු ජන පෙරමුණේ නෙවෙයි එකේ වාටියේ එල්ලිලා ඉන්න අය. පරපෝෂිත පක්ෂ ටිකක් ඉන්නවනේ වල්ගේ එල්ලිච්ච. ඒ වල්ගේ එල්ලිච්ච සෙට් එකට අමාරුයි එකපාරටම 20ට දණ ගහනවා කියලා පෙන්නන්න. ඒ නිසා පොඩි පොඩි හේතු කියනවා. ද්විත්ව පුරවැසිභාවය වගේ වෙන වෙන කතා. නමුත් පේන හැටියට ඔය ඔක්කොමලා රාජපක්ෂවරුන්ට බයයි. ඒ නිසා ඔක්කොම ඡන්දේ දෙයි."

20 යක්ෂාගමනයක්

"78න් පස්සේ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. නමුත් ඔය හැමදෙයක්ම වංචනික අරමුණු වලට පාවිච්චි කිරීම ප්‍රශ්නයක්. නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන හේතුවම යොදා ගන්නවා මේ වගේ යක්ෂ ව්‍යවස්ථා සංශෝධන ගේන්න. මිනිස්සු කියනවා වෙනසක් අවශ්‍යයි. මේකත් ඉතින් වෙනසක් තමයි. මිනිස්සු කියනවා අරාජිකත්වය හොඳ නැහැ. ඒ නිසා ඒකාධිපතිත්වය ගේනවා."

"පාලක කල්ලි දක්ෂයි මිනිසුන්ගේ ප්‍රශ්නය ගසා කන්න. ගසා කාලා මිනිසුන්ගේ කැමැත්ත අරන් දෙනවා ඔවුන්ගේ ගැති ජනමාධ්‍ය හරහා. ජනතාව කැමැත්තෙන් යටත් වෙනවා. ජනතාව කැමැත්තෙන් යටත් වෙන්නේ මොකද ජනමතය සකස් කරනවා කැමැත්තෙන් යටත් වෙන්න පුළුවන් වෙන විදියට. අපි දැන් මෙතන විනාඩි 40ක් කතා කරලා තියෙනවා. මිනිසුන්ට අපි කතා කරපුවගෙන් කොච්චර ද යන්නේ. ආණ්ඩුව සතුව තියෙන දැවැන්ත මාධ්‍ය ශක්තියක් මේ යක්ෂාගමනයට විශාල භූමිකාවක් ඉටුකරලා. ජනතාව හිතනවා ආ මේ අපිව පරිස්සම් කරන්න අපේ රට පරිස්සම් කරන්න ගෙනාපු දෙයක් කියලා."

ජනතාව තමයි අවසාන බලය..

"ජනතාවට මේකෙන් බැට කන්න වෙනවා තමන්ගේ ඉඩම් වලින් තමන්ව පලවා හරින කොට, තමන් පුංචි කාලේ ඉඳන් ගේ ඉස්සර තියෙන කැලේ කපනකොට. ආණ්ඩුවේ ලොකු ලේකම්වරු ඉන්නවා කැකිරාව පැත්තේ කැලේ කපාගෙන අඹ වගාවල් දානවා. ජනතාවට මේක 20 නිසා වෙනවා කියලා තේරෙන්නේ නැහැ. ජනතාවට මේ පරිප්පුව එන්නේ තමන්ගේ ජිවිතවලින්, ඉඩම් වලින්, අයිතිවාසිකම් වලින්. නමුත් අපි එකක් කියන්න ඕන. ජනතාව තමයි අවසාන බලය. ඔවුන් රෑ 7-10 වෙනකන් අර කසිකබල් ටෙලිනාට්‍ය ටික බලලා හොඳට කාලා බුදියගෙන උදේට නැගිටලා හොඳ රටක් බලාපොරොත්තු වෙනවනම් ඒක වෙන්නේ නැහැ. ජනතාවගේ අයිතිවාසිකම් පරිස්සම් කළ හැක්කේ ජනතාවටම පමණයි. අපට කරන්න පුලුවන් දේ තමයි මේකෙන් ඔබේ අයිතිවාසිකම නැතිවෙන්න යනවා කියලා ටෝච් එකක් ගහලා පෙන්නන එක."

 

Search