"20 නිසා කොටි ඩයස්පෝරාවත් පාර්ලිමේන්තු එයි : මේක දැන් චීන කොළනියක් වෙලා" ඥානසාර හිමි ආණ්ඩුවට දොස් කියයි

 

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පතෙන් ද්විත්ව පුරවැසියන්ට ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම සඳහා ඉඩකඩ ලබාදීම නිසා

නුදුරු අනාගතයේ දී චීන, ඉන්දීය ජාතිකයින් මෙන්ම දෙමළ කොටි ඩයස්පෝරාව පවා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බව පවසමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ආණ්ඩුවට දෝෂාරෝපණය කර තිබෙනවා.

ඊයේ (17) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඥානසාර හිමි මේ බව ප්‍රකාශ කර තිබුණි.

ලක්ෂ 25 පෙන්නලා චීනෙනුත් පාර්ලිමේන්තු එයි!

අපට තියෙන ගැටළුව තමයි 17ට අත ඉස්සුවා, 17ට අත උස්සපු අය 18ට අත ඉස්සුවා. 18ට අත උස්සපු අයම 19ට අත ඉස්සුවා. දැන් ඒගොල්ලොම 20ටත් අත උස්සන්න ලෑස්ති වෙනවා. ඉස්සර ගමනෙම යන්න කවුරුහරි මේ ජනවරමත් එක්ක මහන්සි ගන්නවා නම් ඒක ඓතිහාසිකව කරගන්න වරදක්.

විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවය ගත්තොත් චීන ජාතිකයින්ටත් පුළුවන් රුපියල් විසිපන් ලක්ෂයක් පෙන්නලා මමත් ලංකාවෙ පුරවැසියෙක් කියලා ඔහුටත් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. මං හිතන්නෙ කොහොමත් ඒක වෙයි, මොකද මේක චීන කොළනියක් වෙමින් නේ තියෙන්නෙ වැඩි ප්‍රමාණයක්.
ඒවගේම ඇෆ්ගන්කාරයෙකුටත් මේක වෙන්න පුළුවන්. ඒවගේම ඉන්දියානු ජාතිකයෙකුටත් මේක වෙන්න පුළුවන්. මේ රට ගැන මෙච්චර ආදරයක් තියෙනවා නම් කාටහරි මේ රටේ දේශපාලනය කරන්න ඇයි පුරවැසිභාවය අයින් කරගෙන ඒක කරන්න බැරි ?

ප්‍රභාකරන්ට බැරිවුණ දේ අපිම කරලා දෙයි!

දෙමළ කොටි ඩයස්පෝරාවක් ගොඩනැඟෙමින් තියෙනවා. ඒගොල්ලොත් විශාල වශයෙන් ඉල්ලීම් කරලා තියෙනවා ද්විත්ව පුරවැසිභාවය ලබාගන්න. ඉතිං ඒගොල්ලොන්ටත් පුළුවන් ප්‍රභාකරන්ට කරගන්න බැරිවුණු දේ ව්‍යවස්ථාදායකය තුළ තමන්ගෙ ශක්තිය ගොඩනඟාගන්න.

ඒ ඇතුළුකොට විශේෂයෙන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලි සහ විගණනය ආදී කාර්යයන් අපි ගත්තොත් ඉතාම බරපතළ තැනකයි මේක තියෙන්නෙ. ඒ නිසා අපි හිතන්නෙ නෑ - නිකම් මේ පවුලකට ඕනෙ විදියකට, ඒ තත්වයන් අපි පහුකරලානෙ ඇවිල්ලා තියෙන්නෙ - ඒක නිසා අපි හිතනවා වඩා පුළුල් සාකච්ඡාවකින් අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම තමයි ඇත්තවශයෙන් කළ යුත්තේ.

Search