රට කරවන ඇත්තෝ දේශපාලන අච්චාරුවක්: ලොකුම ඇමරිකන්කාරයෝ ඉන්නෙත් ආණ්ඩුවේ - පාඨලී

 

වර්තමාන රජය කරවන පාර්ශ්වය දේශපාලන අච්චාරුවක්

බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවස යි.

"පළාත් සභාවලට පක්ෂ අයත් මේ ආණ්ඩුවේ ඉන්නවා, පළාත් සභාවලට විරුද්ධ අයත් මේ ආණ්ඩුවේ ඉන්නවා. ඒවගේම කැලෑ කපන අයත් ඉන්නවා, කැලෑවේ ගස් හිටවන්න කතා කරන අයත් ඉන්නවා. සදාචාරය වැනි කාරණා ගැන ඉහලින් කතා කරන අයත් ඉන්නවා, මත්ද්‍රව්‍ය ගණිකා මඩම් පවත්වාගෙන යන අයත් ඉන්නවා. ඒවගේ තමයි 20 වැනි සංශෝධනය හරහා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට සමස්ත බලයම ලබා දෙන්න ඕන කියන අයත් ඉන්නවා විරුද්ධ අයත් ඉන්නවා. මේ ප්‍රතිවිරෝධතා එක්ක යන දේශපාලන අච්චාරුවක් තමයි මේ ආණ්ඩුව."

විරෝධතා කොයිවෙලේ හරි පුපුරනවා

ඒ විරෝධතා කොයියම් වෙලාවක හරි පුපුරලා යන්න නියමිත යි. අපි කල්පනා කළෙත් නෑ මෙච්චර ඉක්මනට පුපුරයි ද කියලා. දැන් මේ 20 වැනි සංශෝධනය හරහා ගෝඨාභය රාජපක්ෂ මහත්තටයට පූර්ණ බලතල ලබාදීලා මහින්ද රාජපක්ෂ මහත්තය ප්‍රමුඛ ආණ්ඩුවත් විපක්ෂයේ අපි ඇතුළු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද්විතියිකකරණය කරන්න දරපු උත්සහයක් තමයි මේ.

69 ලක්ෂයක ජන වරමෙන් පත්කරපු පාර්ලිමේන්තුව පහලට ගෙනියන්න, තලා දාන්න, ද්විතියික පද්ධතියකට පත්කරන්න දරපු උත්සහයක්. ඉතින් ආණ්ඩුව ඇතුළෙන්ම අර ප්‍රතිවිරෝධතාවයන් පුපුරලා ගිහින් තියෙනවා. ඉදිරි කාලයේ දී රාජ්‍ය මූල්‍ය ආර්ථික අර්බුද හමුවේ මේවා දේශපාලන ප්‍රශ්න බවටම පරිවර්තනය වෙයි.

දිව දෙකේ කතා

ද්විත්ව පුරවැසියන්ට ඉඩකඩ ලබාදෙනවා කියන එකෙන්ම දේශප්‍රේමීත්වය ප්‍රශ්න වෙනවනේ. රටට ආදරය කරනවා, මව් රටට ආදරය කරනවා, දේශප්‍රේමින්..... ඒ ඔක්කොම විහිළුවක් බවට පත්වෙනවනේ එක්සත් ජනපදයේ හෝ වෙනත් තැනක පුරවැසියෝ ලංකාවේ නිලතල දරන්න ආවම.

ලොකුම යැංකි හිතවාදීන් ඉන්නේ ආණ්ඩුව ඇතුලේ

ඊළඟට අනිත් අයට කිව්වේ ඔක්කොම ඇමරිකන්කාරයෝ යැංකි කියලනේ. දැන් බැලුවම ලොකුම ඇමරිකන්කාරයෝ ටික ඉන්නේ, ලොකුම යැංකි හිතවාදීන් ටික ඉන්නේ එතනනේ. ඉතින් වැඩිය ඕන නැහැ, තාම අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න බැරිවුණානේ. වහාම ගේනවා කිව්වනේ 24 පැයෙන් ගේනවා කිව්වනේ අර්ජුන මහේන්ද්‍රන්. රටට එරෙහි MCC ගිවිසුම අහෝසි කරනවා කිව්වනේ. එකක්වත් කරලා නැහැනේ. ඇමරිකන් ගැත්තෝ ඉන්නෙත් මේ ආණ්ඩුවේ, ඇමරිකාවට විරුද්ධයි කියන අය ඉන්නෙත් මේ ආණ්ඩුවේ. මේක දේශපාලන අච්චාරුවක්. මේ ආණ්ඩුව කිසිම දාක අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නන්නේ නැහැ.මොකද අර්ජුන මහේන්ද්‍රන් මේ ආණ්ඩුවේ බොහොම ප්‍රබල පිරිස්වල අර අපේ තිබිච්ච පාලනයේ අය එක්ක තිබුණ වගේම මූල්‍ය දේශපාලන සබඳතා සහිත පුද්ගලයෙක්.

 

Search