මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වු මරණ දඩුවම් නියමව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අභියචනාධිකරණය අද ( 07) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.
පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙනවාද ? නැත්ද ? යන්න පිළිබඳ අතුරු නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය අද (07) තීන්දු කළේය.
මහමැතිවරණයෙන් තේරී පත් වූ තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු ද්වි පුද්ගල. අභියාචනාධිකරණ මඩුල්ලක් හමුවේ සලකා බලමින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
තීරණය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු සියලු හිමිකම් ඒ ආකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඒ අනුව ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී යන්නේ නැති බව ද සඳහන් කර සිටියේය.
ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන බවත් එහි වගඋත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් යන පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කර තිබේ.
පෙත්සම යළි මේ මස 29 දා කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.
පෙත්සම්කාර චූදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වීය. ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා පාර්ලිමේන්තු රැස්වීම් වලට රැගෙන යාම බන්ධනාගාර බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බවය. එබැවින් මහජන ඡන්දයෙන් තේරී පත් වූ සිය සේවාදායකයාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙන නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතිපති වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ පෙත්සම්කාර චූදිත මන්ත්‍රීවරයාට දැනටමත් මරණ දඩුවම නියමව අැති හෙයින් එවැනි චූදිතයෙකුට පාර්ලිමේන්තු යාමට නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන්ව නොමැති බවය.
එම සියලු කරුණු සලකා බලමින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ මෙම රීට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර ලැබ සිටිති.
පෙත්සම්කරු කියා සිටින්නේ, මිනීමැරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු තමන්ට රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළ බවත්, එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.
එසේ තිබියදී ඉකුත් මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තමන්ව පාර්ලිමේන්තු රැස්වීම සඳහා රැගෙන යාම බන්ධනාගාර බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව පෙත්සම්කාර ප්‍රේමලාල් ජයසේකර මහතා සිය පෙත්සමින් පෙන්වා දේ. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද දිල්වා , නීතීඥ බුද්ධික චන්ද්‍රසේකර පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.
ලංකාදීප