තරුණ හාමුදුරුවෝමාවඋස්සගෙනපන්සලටගෙනිච්චේ. තුවාලකුණුවෙලාගඳගහනවා. යනඅතරමඟදිහාමුදුරුවෝමාවබිමතියලාවමනේකරනවා. ලොකුහාමුදුරුවන්ගේකාමරේවියන්ඇඳයටතමයිමාවගෙනිහිල්ලාතිබ්බේ. රෑනවයටවිතරමාවඑළියටඅරගෙනඇඳඇතිරිල්ලක්අන්දලාවතුරඋණුකරලාබේසම්වලටපුරවලානාවලාපිරිසුදුකළා.
අරගලය ඇයට අරුමයක් නොවේ. බාලවියේ සිට ම ශිෂ්‍ය අරගලවලට සහාය දුන් ඇය හැත්තෑ එකේ කැරැල්ලේදී ප්‍රථමාධාර අංශය භාරව සිටියා ය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණ ඕ අවසානයේ ජීවිතය ජය ගත්තා ය. මේ මාලා දිසානායක හෙවත් ජුලියට් අක්කාගේ කතාවයි.
‘අප්‍රේල් විරු සමරුව’ එනම් හැත්තෑ එකේ කැරැල්ලට වසර හතළිස් හතක් සපිරෙන්නේ හෙට අනිද්දාට ය. ඒ, යුගය නියෝජනය කරන්නෝ ඉත සිතින් ඊට පෙළ ගැසෙති. 71 කැරැල්ලේ ජීවමාන චරිත බොහෝ සිටිති. ඒ චරිත අතුරින් ඇතැමෙක් දැන් විදෙස්ගත ය. ඇතැමෙක් ඒ යුගය ගැන කතා කරන්නට අකැමැති ය. නමුදු 71 කැරැල්ලේ චරිත අතරේ සුවිශේෂ කෙනකු අපට හමුවිය.
හැත්තෑ එක කැරැල්ලේ ‘යකඩ ගැහැනිය’ මාලා දිසානායක සොයා ඉකුත් දිනෙක රාත්‍රියේ අපි රාජගිරියේ ඇගේ නිවෙසට ගියෙමු.
අපි ඇයට මාලා කියුව ද ඒ යුගයේ කවුරුත් ඇය හැඳින්වූයේ ජුලියට් යන ආදරණීය නාමයෙනි. හත්දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූයේ ඇය ය. පවුලේ කවුරුත් ආදරයට ‘ජුලියට්’ යනුවෙන් ආමන්ත්‍රණය කළ ද ඇගේ නම සුසිලා හේමාලි විජේසිංහ ය.
හැත්තෑ එකේ කැරැල්ලේ දී ඇගේ ජීවිතය බේරුණේ අනූනවයෙනි. නමුදු ඇගේ සොයුරන් දෙදෙනකු ම කැරැල්ලේ දී මිය ගිය හ.
හතළිස් හත්වසරකට එහා අතීතය සිහිපත් කිරීමේදී විටෙක ඈ දෑස කඳුළින් තෙමී ගියා ය. ඇතැම් සිදුවීම් කීමේදී ඈ නිහඬ වූවා ය. ඇතැම්විට මේ ඇය කඳුළක් සලන්නට ඇත්තේ වසර ගණනකට පසු විය හැකි ය. ජීවිතයේ බොහෝ දේවල් අහිමි වුව ද තම තරුණ විය රටේ සමානාත්මතාව ඇති කිරීම් සටන වෙනුවෙන් කැප කිරීම ගැන අදත් ඇය පසු නොතැවෙන්නී ය.
“අපේ පවුලේ පිරිමි පස් දෙනයි. ගෑනු ළමයි දෙන්නයි. සරත් අයියයි, ජස්ටින් අයියයි තමයි ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටියේ. සරත් අයියා කියන්නේ බොහෝ ම ප්‍රසිද්ධ චරිතයක්. ඒ වගේම ඔහු ඕනෑම කෙනකු සමඟ මිතුරුයි. අයියා ඉගෙන ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. සරත් අයියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, විශේෂ උපාධි හැදෑරුවා. අපේ ගෙදරට නිතරම අයියගේ යාළුවෝ එනවා. ඔවුන් දේශපාලනය ගැන කතා වෙනවා. මම හැම වෙලාවෙම හිටියේ අයියා පස්සෙන්මයි. ඒ නිසා මට මේ කතා බහ ඇහෙනවා. ඒ විදිහටයි මම අයියගේ දේශපාලනයට සම්බන්ධ වුණේ.
ඒ කාලේ වෙනකොට ජේවීපී කියලා එකක් නැහැ. තිබුණේ පුංචි පුංචි විප්ලවීය කණ්ඩායම්. මගෙ අයියට කවදාවත් සන්නද්ධ වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ.
අයියා නියෝජනය කළේ සමාජවාදී ශිෂ්‍ය සංගමය. ඔහු රැස්වීම්වලට ගියා. ඒ කාලේ මට මතකයි හුඟක් අය කිව්වේ සරත්ගේ සමාජවාදී ශිෂ්‍ය සංගමය කියලා. ඒකාලේ තරුණයන්ට ප්‍රශ්න තිබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෑම ශාලාවට යන්න ඕන කලිසම කමිසය ඇඳලා. නමුත් දුරබැහැරින් ආව අයට එක කලිසමයි තිබිලා තියෙන්නේ. මගේ අයියා තමයි පේරාදෙණියේ ඒ තත්ත්වය නැති කළේ. ඔහු කෑම ශාලාවට ගියේ සරම ඇඳගෙන. අයියා බොහෝ ම ජනප්‍රිය චරිතයක්. මේ අයියාගේ දේශපාලනයට අපි එකතු වුණේ ඉබේමයි.” ජුලියට් කියන්නේ අතීතය සිහිපත් කරමිනි.
හැත්තෑ එකේ කැරැල්ල ආරම්භ වන්නේ අප්‍රේල් පස්වැනිදා ය. කැරැල්ලේ නියමුවන්ගේ අරමුණ වූයේ පොලිසිවල බලය ඇල්ලීම ය. මේ වනවිට ජුලියට් ලා සිටියේ කෑගල්ල බලපත්වල කඳවුරේ ය. ජුලියට් ගේ සොයුර එනම් සරත් විජේසිංහ මිය යන්නේ ගැටියමුල්ල විද්‍යාල භූමියේදී ය. ඒ අප්‍රේල් අටවැනිදා ය. ඇගේ අනෙක් සොයුරා වන ජස්මින් විජේසිංහ මිය යන්නේ හැත්තෑ එකේ මැයි දෙවැනිදා ය. ඒ රුවන්හිරි කන්දේ දි පසුබසිද්දී ය. බලපවත්වල කඳවුරේ සිටි ජුලියට් සිය සොයුරන් මියගිය බව දැන ගන්නේ මාස තුනක් පමණ ගිය පසු ය. ජුලියට් තම අරගලය අත නො හරින්නී ය. ඇය දිගින් දිගට ම සටන් ව්‍යාපාරය සමඟ රැඳී සිටින්නී ය. 71 දෙසැම්බර් මාසයේ දිනකදි ඇය වෙඩි ප්‍රහාරයකට ලක්වන්නී ය. ඒ විල්පත්තු කැලෑවේදී ය.
“මේ කාලේ මට අවුරුදු දහඅටක් විතර ඇති. ඔය සිද්ධිය වෙන දවසේ මට උණ හැදිලා වමනේ ගිහිල්ලා අසනීප වෙලා හිටියේ. ආනමඩුව කැලේ ඉඳලා විල්පත්තු කැලේට යන ගමන් හමුදාව දිගට හරහට වෙඩි තිබ්බා. මට දැනුණේ මගේ ඔළුවට වෙඩි වැදුණා වගේ. මම කඳවුර ඇතුළේ වැටුණ. අනිත් අය “ජුලියට් නංගි නැගිටින්න” කියලා කෑ ගහනවා අැහුණා. මම නැගිටලා දිව්වා. වෙලාව උදේ නවයට දහයට විතර ඇති. ඒ වෙනකොට මම ලේවලින් නෑවිලා. මගේ වම් කකුලට වෙඩි වැදිලා. දකුණු කකුලේ දනිස්සට වෙඩි වැදිලා. කොන්දටත් වෙඩි වැදිලා. ඒත් මම ඇවිදගෙන ඉදිරියට ම ගියා. වර්ෂාව මැද්දෙන් යනකොට සරත් අතුකෝරල සහෝදරයා මට හමුවුණා. ඔහු මාව දැකලා බය වුණා. මං සරත් අතුකෝරල සහෝදරයට කිව්වා මාව කැලේ තියලා යන්න කියලා. නමුත් ඔහු මාව දාලා ගියේ නැහැ. දෙවෙනි දවස වෙනකොට මට හිතුණා මම මැරෙයි කියලා. සරත් අයියා සැරෙන් සැරේ ගස්වලට නැගලා බලනවා අහල පහල ගෙවල් දොරවල් තියෙනවද කියලා. ඔහොම යද්දි තමයි අයියා කිව්වේ පන්සලක් තියෙනවා කියලා. අපිට දවස් දෙකක් තිස්සේ කෑමක් නැහැ. සරත් අයියා මාව ගහක් මුල තියලා පන්සලට ගියා. සරත් අයියව දැකපු හාමුදුරුවෝ බයවෙලා. මොකද පන්සලේ හමුදා කඳවුරක් තිබුණ නිසා. ඒ වෙනකොට කඳවුර අස්කරගෙන ගිහිල්ලා. හාමුදුරුවෝ සරත් අයියට බැණලා එළවලා. කන්න මුකුත් දීලත් නැහැ. සරත් අයියා ආයේ මා ගාවට ආවා. මම කිව්වා ඉදිකට්ටක් ඉල්ලගෙන එන්න. හාමුදුරුවන්ට ආයේ ගිහින් කතා කරන්න කියල. ඉදිකට්ට ගේන්න කිව්වේ ඒ දවස්වල අපි උතුර දකුණ හොයා ගත්තේ වතුර වීදුරුවට ඉදිකට්ටක් දාලා නිසා."
සරත් නැවතත් පන්සලට යනවිට හාමුදුරුවන්ගේ අදහස වෙනස් වී තිබිණ.
"ඒ යනකොට හාමුදුරුවෝ භාජනයකට පන්සලේ ඉතිරි දානේ දාලා කොට තාප්පයක වාඩිවෙලා ඉන්නවලු. හාමුදුරුවන්ට හිතුණලු කන්න ඉල්ලගෙන ආපු කෙනා එළව ගත්ත එක හරි නැහැ කියලා. සරත් අයියා ඒ කෑම එකත් අරගෙන ආවා. ඒ බත් පිළුණු වෙලා. අයියා මට පිළුණු බත් කැව්වා. එයත් කෑවා. අපි හුඟක් බඩගින්නේ හිටියේ. සරත් අයියා හාමුදුරුවන්ට මාව බලාගන්න කියලා ගියා. මම හිටියේ පන්සල පේන මානේ පුංචි කොළ තියෙන තල් ගහක් යට. හාමුදුරුවෝ ගෝනි කෑල්ලක් ගෙනැල්ලා තිබුණා. මම හිටියේ ඒකේ. ‘මල්ලි යන්න මම බලා ගන්නම්’ කියලා හාමුදුරුවෝ කිව්වා. හාමුදුරුවෝ සිවුර නැතිව අදනකඩේ පිටින් ආවේ. වතුර ගෙනැත් තිබුණා. සිවුරු ඉරලා තුවාල හෝදලා බත් අඹරලා තුවාලවලට තියලා බැන්දා. කොන්දේ තුවාල තියෙන බව මම කියන්න ගියේ නැහැ. පාන් රාත්තලක් ගෙනැත් තිබුණා. මේ විදිහට දවස් තුනක් ගෙවිලා ගියා. හාමුදුරුවෝ ආවේ නැහැ. තුවාල කුණුවෙලා මට ම ගඳ දැනෙනවා. වහිනවා. හමුදා ට්‍රක් ඈතින් යනවා ඇහෙනවා. සරත් අයියව ගමේ මිනිස්සු මගදි අල්ලලා හමුදාවට බාරදීලා. මම බොහෝම දුර්වලයි. වෙව්ලනවා. මම හිතුවා දැන් දැන් මාව මැරෙයි කියලා. දවස් තුනකට පස්සේ අර හාමුදුරුවෝ තවත් හාමුදුරු කෙනෙක් සමඟ ආවා. ඒ සමඟ හාමුදුරුවන්ගේ ඥාතියෙකුත් ආවා. පන්සලේ හාමුදුරුවෝ ගිහින් තියෙන්නේ දුරබැහැරක හිටපු ලොකු හාමුදුරුවන්ට මා ගැන කියන්න. පොඩි හාමුදුරුවෝ මා ගැන කිව්වම ලොකු හාමුදුරුවෝ බැණලා මොකට මෙහෙ ආවද ඒ ළමයා ගැන බලන්නේ නැතිව. දැන් ඒ ළමයා මැරිලත් ඇති කියලා. පොරවකුත් උදැල්ලකුත් අරගෙන තමයි හාමුදුරු දෙනමයි අර වයසක කෙනයි මාව බලන්න ආවේ. ඒ වෙනකොට මගේ ඇස්වල සුද බැඳිලා වගේ. නමුත් මට ඈතින් කහ සිවුර පේනවා. හාමුදුරුවෝ මාව ගහට හේත්තුකරලා වාඩි කෙරෙව්වා. මම මූලික සාකච්ඡාව කළා. ඒ කියන්නේ අපි අරගලය කළේ ඇයි කියලා. මම පැයක් විතර කතා කළා. හාමුදුරුවෝ නතර කරන්න කියනකම්ම කතා කළා.
මගේ කතාව අහගෙන හිටපු හාමුදුරුවෝ “මේ ළමයා පුදුම දරුවෙක්. උඹට මැරෙන්න දෙන්නේ නැහැ” කිව්වා.
තරුණ හාමුදුරුවෝ මාව උස්සගෙන පන්සලට ගෙනිච්චේ. තුවාල කුණුවෙලා ගඳ ගහනවා. යන අතරමඟදි හාමුදුරුවෝ මාව බිම තියලා වමනේ කරනවා. ලොකු හාමුදුරුවන්ගේ කාමරේ වියන් ඇඳයට තමයි මාව ගෙනිහිල්ලා තිබ්බේ. රෑ නවයට විතර මාව එළියට අරගෙන ඇඳ ඇතිරිල්ලක් අන්දලා වතුර උණුකරලා බේසම්වලට පුරවලා නාවලා පිරිසුදු කළා. දවස් ගාණක් තිස්සේ පීරපු නැති මගේ දිග කොණ්ඩේ ඔළුව වටේ තොප්පියක් වගේ එතිලා. විමලරතන පොඩි හාමුදුරුවෝ ඇබිත්ත මාමගේ පනාව ගෙනැල්ලා කොණ්ඩේ හිටපු කුරුමිණියෝ පොඩි පොඩි සත්තු වෙන ම එකතු කරලා අවුල් කඩලා ඔළුව පීරුවා. ඇත්තට ම දවස් ගානකට පස්සේ නාලා පිරිසුදු වුණාට පස්සේ මට දිව්‍ය ලෝකේ ගියා වගේ දැනුණේ. ලොකු හාමුදුරුවෝ මා දිහා බලලා කියනවා. ‘අම්මේ කෙල්ලේ උඹේ ලස්සන. උඹ මැරුණා නම් මොන අපරාධයක් ද’ කියලා. හාමුදුරුවරු මගේ තුවාලවලට ගෑවේ ඒ කාලේ තිබුණ කොයිකටත් තෛලය කියන තෙල. මම දවස් පහක් විතර පන්සලේ හිටියා. මේ අතර එක දවසක පන්සලට ගමේ මිනිස්සු එනවා සරත් අයියව අල්ලලා දුන්න වීරකම කියන්න. මම හිටියේ හාමුදුරුවන්ගේ ඇඳ යට. මට පේනවා මිනිස්සුන්ව. සිද්ධිය කියනකොට හාමුදුරුවෝ ගමේ අයට බණිනවා උඹලා ඔය කළේ ආනන්තරීය පාපකර්මයක් කියලා. මම මූලික සාකච්ඡාවෙදි කියපු කරුණු හාමුදුරුවෝ ගමේ අයට කියනවා.”
ඇය යකඩ ගැහැනියකැයි මම මුලින් ම ඔබට කීවෙමි. නමුදු පෙනුමෙන් බොහෝ සොඳුරු සියුමැලි ඇය රට වෙනුවෙන් අරගල කළා ය. ඇය අද ද දැඩි සිත් ඇත්තියකි. අරගලයෙන් පසු ඇය තම නිවෙසට යාමට අකැමැති වූවා ය. 71 න් පසු ඇය මවුපියන් දකින්නේ හැත්තෑ දෙකේ අවුරුද්දේ දීය. අම්මා තාත්තා දුටු දා ඇය මහ හඬින් හඬා වැටුණා ය. සිය සොයුරන් නැති සොවින් තව තවත් වැලපුණා ය.
“මගේ අම්මා රතිඤ්ඤා පුපුරන සද්දයටත් බයයි. අම්මා මැරුණේ එක්දහස් නවසිය හැත්තෑ හතේ අවුරුද්දේ මැයි දෙවෙනිදා අකුණු ගහන සද්දයට බයවෙලා. අම්මා නැති වෙලා සති දෙකකට පස්සේ තාත්තා නැති වුණා. අම්මා තාත්තා කවදාවත් අපට අරගල කරන්න එපා කිව්වේ නෑ. අයියගේ යාළුවෝ අපේ ගෙදර එනවා. ඒ ආවාම ඔවුන් අප සමඟ කතා බහ කරනවා. නමුත් විජේවීර අපේ ගෙදර ආවා ම කාගෙවත් මුහුණ බලන්නේ නැහැ. කාමරේට වෙලා දොර වහගෙන අයියා එක්ක කතාව. දවසක් අපි මාමා කෙනෙකුගේ ගෙදර ගියා. එදා අයියා සමඟ මමත් ගියා. අයියා මාමාගේ ගෙදර කාමරයකට වෙලා දොරවහගෙන විජේවීර සමඟ කතාව. රෑ එළිවනතුරු. මාමා කතාව අහගෙන ඉඳලා. අයියට පහුවදා හොඳට ම බැන්නා. ආයේ ඔහොම එන්න එපා කියලා. මගේ අයියා කෑගල්ල බස් ස්ටෑන්ඩ් එකේ සරම ඇඳගෙන පත්තරය විකුණලා තිබුණා. ඒක දැනගත්ත දවසේ තාත්තා අයියට බැන්නා. අයියාගේ ශිෂ්‍ය ව්‍යාපාරය විජේවීර සමඟ එකතු වුණා. නමුත් අයියට සන්නද්ධ වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. අපි පක්ෂය වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළා. එදා අයියා මැරුණ ම ඉස්කෝලේ තිබුණ ඩෙස් ලෑලිවලින් පෙට්ටියක් හදලා ඒ මිදුලෙ ම අයියව වළලා තිබුණේ. මම සංවිධානයේ ප්‍රථමාධාර භාරව හිටියේ. මේ අත්දෙක උඩ කී දෙනෙක් මැරෙන්න ඇති ද? යෞවන වියේ සිදුවූ ඛේදවාචකවල දසුන් ඇයට යළි යළිත් මතක් වනවා ඇත. ජුලියට් ගේ දෑසින් කඳුළක් ගිලිහෙයි. එය දෙකොපුල් දිගේ රූරා යයි. නමුදු ඇය සැණෙකින් කඳුළු පිස දමා කතා කරන්නීය.
අපි අරගල කළේ මිනිස්සු මරන්න නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ට සමානාත්මතාව අරගෙන දෙන්න. දැන් මම දේශපාලනයෙන් තොරයි. නමුත් මම එදා පිළිගත්ත දේ අදත් පිළිගන්නවා. සමාජ අසාධාරණයට එරෙහිව මම අදත් නැගී සිටිනවා.”
ඇය පවසන්නේ දැඩි හඬිනි
ඉනෝකා සමරවික්‍රම.
ඡායාරූප - තිලක් පෙරේරා