'Facebook සමාජයෙ ප්‍රගමනය විනාශ කරනවා' -චමත්

 සිලිකන් නිම්නය කේන්ද්‍ර කර ගත් තාක්‌ෂණික දැවැන්තයන්ගේ ලෝකයේ chamath palihapitiya කියන්නෙ ඉතා ප්‍රකට පුද්ගලයෙක්‌. ඔහුව බොහෝ දෙනෙක්‌ දන්නේ සමාජ ජාලාවල දැවැන්තයා වෙන Facebook නිර්මාණය වූ මුල් කාලයේදී එහි ව්‍යාප්තිය වෙනුවෙන් ඉතා තීරණාත්මක කාර්යභාරයක්‌ කළ අති දක්‌ෂ පරිගණක ඉංජිනේරුවෙක්‌ සහ ඉතා බුද්ධිමත් ව්‍යවසායකයෙක්‌ විදියට.

 1976 ලංකාවේ ඉපදුන චමත්, වයස අවුරුදු 6 දී දෙමාපියන් සමග ස්‌ථිර පදිංචිය වෙනුවෙන් කැනඩාවට සංක්‍රමණය විය. වසර 2000 ඔහු ජීවිතයේ තීරණාත්මක ගමනකට මුල් පුරන්නේ කැලිෆෝනියාවේ සිලිකන් නිම්නය වෙත පැමිණීමත් සමගය. එහි AOL කියන ප්‍රධාන පෙළේ ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවෙක්‌ විදියට එකතු වී, වසර කිහිපයක්‌ ඇතුළත එහි Instant Messaging අංශයේ ප්‍රධානියා තනතුර දක්‌වා යන්නට චමත් සමත් විය.

මේ වෙන කොට Facebook පටන් අරන් අවුරුද්දයි. එහි නිර්මාතෘ මාක්‌ සකර්බර්ග් ඔහුව ප්‍රවර්ධන අංශ ප්‍රධානියෙක්‌ විදියට (Vice President of User growth) පත් කරන්නේ චමත්ගේ දක්‌ෂතාවයන් හඳුනා ගෙන.

වසර කිහිපයක්‌ ඇතුළත ෆේස්‌බුක්‌ අතිශය ජනප්‍රිය වී දැනට බිලියන දෙකක්‌ දක්‌වා එය භාවිතා කරන්නන් වැඩි කර ගැනීම පිටුපස ඉතා තීරණාත්මක කාර්යභාරයක්‌ කළේ චමත්.

1920 facebookbrain 696x464

ඔහු 2011 දී ෆේස්‌බුක්‌ ආයතනයෙන් ඉවත් වී Social Capital නමින් තමන්ගේම ආයතනයක්‌ ආරම්භ කරන ලදි. එය අද ඉතා ලාභ ලබන ආයතනයක්‌.
චමත් මෑතකදී ෆේස්‌බුක්‌ විවේචනය කරමින් කරන ලද ආන්දෝලනාත්මක අදහස්‌ දැක්‌වීමක්‌ නිසා සමාජ ජාලා සම්බන්ධව අලුත් සංවාදයක්‌ ඇති කිරීමට ඔහු සමත් විය. ඔහු පැවසුවේ ෆේස්‌බුක්‌ වැනි සමාජ ජාලා මගින් මනසට සිදු කරන හානිය මගින් සමාජ වියමනම ඉරා දමන තැනක්‌ දක්‌වා දැන් තත්ත්වය ව්‍යාකූල වී ඇති බවයි.

ෆේස්‌බුක්‌ මුල් අවධියේම එහි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් තමන් ඇතුළු කණ්‌ඩායම භාවිතා කළ සමහර ක්‍රමවේද ගැන තමා පසුතැවිලි වන බව චමත් මෙහිදී පාපෝච්චාරණය කළේය. ඔහු දැන් ෆේස්‌බුක්‌ භාවිතය අතිශය අවම කර ඇති බවත්, තමන්ගේ දරුවන්ට ඒවා භාවිතා කරන්නට නොදෙන බවත් හෙළි කළේය.
සමාජ ජාලා නිසා මෙතරම් හානි කරයි යනුවෙන් එහි පිඹුරුපත් සකස්‌ කළ අයම කියන්නේ ඇයි? අපි මොහොතකට චමත්ගේ වචනවලට සවන් දෙමු.


“අපි හදපු මේ ඩෝපමින් උත්තේජිත ප්‍රතිචාර චක්‍ර (dopamine driven feedback loops) සමාජයෙ ප්‍රගමනය විනාශ කරනවා. සමාජ කතිකා නෑ, සමාජ සහයෝගිතාවක්‌ නෑ, වැරදි සහ අසත්‍ය තොරතුරු, මේක මේ රටක ප්‍රශ්නයක්‌ නෙවෙයි, විශ්වීය ප්‍රශ්නයක්‌. මින් ඛාදනයට ලක්‌ වෙන්නේ සමාජයේ මිනිසුන් එකිනෙකා සමග හැසිරෙන විදියට අදාළ මූලිකම පදනමයි. මට මේ විනාශය නවත්වන්න බැහැ. නමුත් මට මම එයට ගොදුරු වෙන එකෙන් වැළකෙන්න පුළුවන්.”

මෙහිදී චමත් සඳහන් කරන ‘ඩෝපමීන් උත්තේජිත ප්‍රතිචාර චක්‍ර’ කියන්නෙ කුමක්‌ද?


ඩෝපමීන් කියන්නෙ සූදුවේ නිරත වෙද්දි හෝ මත්ද්‍රව්‍ය ආදිය ගැනීමේදී මොළයේ නිපදවෙන රසායනිකයම තමා. එය තමයි මිනිස්‌ මනසට ඇබ්බැහිය පුරුදු කරන්නෙ.
Facebook වගේ සමාජ ජාලා විසින් දෙන Likes, Comments, Hearts, Thumbs Up ආදිය එක්‌ක එන කෙටි කාලීන උත්තේජනය විසින් තමන්ට ඒ ‘ඩෝපමීන් හිට්‌’ එකට මොහොතකට පෙර සිටියාටත් වඩා හිස්‌ බවක්‌ උරුම කර දෙයි. (හිස්‌ බවට පිළිතුරු ලෙස යෙදෙන ක්‍රියාවකින් හිස්‌ බවම උරුම කරදීම.) ඒ නිසා ඔවුන් ඒ උත්තේජනය නැවත ලබා ගන්න ඒ තුළම කිමිදෙන විෂම චක්‍රයක්‌ මත හිර වෙන බව තමා ඉන් අදහස්‌ වෙන්නෙ.


චමත් තවදුරටත් අවවාද කරන්නෙ “ඔබ සතාව පෝෂණය කළොත්, සතා ඔබව විනාශ කරනවා. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා අමාරුවෙන් හරි මේ ව්‍යසනයෙන් ගැල්වෙන්න” ලෙසයි.

Unknown
චමත්ගේ මේ ප්‍රකාශයට මාසයකට කලින්, Facebook හි පළමු සභාපතිවරයා වූ ශෝන් පාකර්ද මෙවැනිම ආන්දෝලනාත්මක ප්‍රකාශයක්‌ කළේය. ඔහු පැවසූවේ ඔවුන් මිනිස්‌ සන්තානයේ ඇබ්බැහි වීමට හැකියාව ඇති දුර්වලතාවක්‌ (vulnerability) ෆේස්‌බුක්‌ නිර්මාණය කිරීමේදී ඉතා සබුද්ධිකව හා දැනුවත්ව ප්‍රයෝජනයට ගත් බවයි. ඒ පිළිබඳව කලකිරීමකින් මෙන් ඔහු පැවසූවේ අපේ දරුවන්ගේ මනසට මින් විය හැකි හානිය ගැන තමන් දැන් තැති ගන්නා බවයි.

මිනිසුන්ගේ මනස සූරන විධි ක්‍රම වෙනුවට මුළු මහත් ප්‍රජාවටම සෙතක්‌ විය යුතු කාර්යන්වල යෙදී මේ වැදගත්කම පෙන්වන චමත්, ඊට තමාගේ සමාගම හරහා ආදර්ශයෙන්ම ක්‍රියාත්මක වෙන බව අපිට දක්‌නට ලැබෙනවා. දියවැඩියාව සහ පිළිකාවට ප්‍රතිකාර, කාලගුණ විපර්යාස වෙනුවෙන් කෙරෙන පර්යේෂණ, ලෝකයේ වැඩි පිරිසකට අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීම, ආහාර, ජලය සහ බලශක්‌තිය වැනි සීමිත සම්පත් ආදියට අදාළව කෙරෙන ව්‍යාපෘති ආදියට ඔහුගේ සෝෂල් කැපිටල් සමාගමෙන් මූල්‍යමය සහයෝගය දක්‌වා තිබේ.

චමත් දැන් ශ්‍රී ලාංකිය පුරවැසියෙක්‌ නොවුණත්, ඔහු ඉපදුනේ ලංකාවේ. ඔහුගේ දෙමාපියන් ශ්‍රී ලාංකිකයන්. සමහර විට මේ සමාජ ජාලා ලෝකයේ හිනි පෙත්තටම ගිය ඔහුට, ඉන් මිනිස්‌ සන්තානයට විය හැකි හානිය දුටු පසු ඉන් ඉවත් වී සමාජයට වඩා හිතකර හෙට දවසක්‌ වෙනුවෙන් යමක්‌ කරන්නට සිතීම පිටුපස ඔහුගේ ලේ උරුමයෙන් ආ මනුස්‌සකම දායක වූවා විය හැක.

Chamath Palihapitiya on the problem that Facebook presents to society

මෙය සනාථ කරන තවත් උදාහරණයක්‌ දැක්‌විය හැකිය. ආපනශාලා ආදියෙන් ආහාර ගැනීමෙන් පසු එහි සේවකයන්ට ඉතා විශාල ටිප් එකක්‌ (සන්තෝෂම් මුදලක්‌) තබා යන්නෙක්‌ හැටියට චමත් අතිශය ප්‍රසිද්ධයි. ඩොලර් 300 ක ආහාර වේලකින් පසුව ඔහු එම සේවකයාට ඩොලර් 500ක්‌, 1000ක්‌ තබා ගිය අවස්‌ථා තිබේ. එතරම් මුදලක්‌ නිර්නාමිකව, කිසිම පසු වාසියක්‌ අපේක්‌ෂාවෙන් තොරව තබා යන්නෙ ඇයි දැයි ඉහත අන්දෝලනාත්මක අදහස්‌ දැක්‌ වූ සම්මුඛ සාකච්ඡාවේම ආරම්භයේදී ඇසූ විට ඔහු පැවසුවේ, සමාජ සුබසාධන මත පවා යෑපුනු ඔහුගේ ළමා කාලය අතිශය දුෂ්කර වූ බවත් තමන් වෙහෙස වී වැඩ කරන දුඹුරු සම ඇති මිනිසුන් අද දවසේ දුටු විට මතක්‌ වෙන්නෙ වෙනත් කවුරුවත් නොව තමන්ම බවයි. මේ සම්බන්ධව ඔහුගේම වචනවලින් මේ සටහන අවසන් කිරීම උචිතයයි සිතමි.

“ඒ වගේ පොඩි දේවල්වලින් කරන්න පුළුවන් බලපෑම සුළුපටු නැහැ. නිර්නාමික ලෙස ත්‍යාගශීලි වෙන්න, ඒ මිනිසුන්ගේ ජීවිත පරිවර්තනයකට ලක්‌වේවි. එහෙම දෙයක්‌ කරන්න ලැබෙන එකත් වාසනාවක්‌. මම ඒක කරන්නෙ පුදුම සතුටකින්, පුදුම ආසාවකින්.

චම්පික යටගම

 

Search