කල්‍යානන්ද තිරාණගම
1949 දී මාවෝ සෙතුං, ෂියෙන්කායි ෂෙක් පරදා චීනයේ බලය අල්ලා ගැනීමත් සමඟම, මාවෝ අනුගමනය කළ දේශපාලනය න්‍යායයන් ලෝකය පුරා විසිරී සිටි මාක්‌ස්‌වාදීන් තුළ ඇති කරන ලද බලපෑම අතිමහත් විය.
එම බලපෑමෙන් මිදීමට නොහැකි වූ මෙරට කොමියුනිස්‌ට් පක්‍ෂය ද දෙකඩ වී චීන පිල යනුවෙන් නව කොමියුනිස්‌ට් පක්‍ෂයක් බිහි විය. ටික කලක් ගත වීමේදී එහි නායකයා ලෙස කටයුතු කළ ශන්මුගදාසන් මාවෝ මෙන් විප්ලවය නොකරන බව චෝදනා කරමින් චීන පිල තුළ නව විප්ලවවාදී සංවිධාන කිහිපයක්‌ම බිහිවිය. ගිණි පුපුර ද ඉන් එක් සංවිධානයකි. එම සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ කල්‍යානන්ද තිරානගම මහතා සිය විප්ලවකාරි අතීතය පිළිබඳව දැක්‌වූ අදහස් මෙසේය.
ප්‍රශ්නය - ගිනි පුපුර සංවිධානයට මොකද වුණේ?
පිළිතුර - මම 1971 අප්‍රේල් මාසයේ ඉදල 1973 දෙසැම්බර් මැද දක්‌වා, වසර දෙකකුත් මාස 8 ක කාලයක් සිරගෙදර ඉද එන කොට රටේ බොහෝ දේශපාලන විපර්යාස සිද්ධවෙලා තිබුණා. ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාව ඇති කරල සුද්දන්ට අයත්ව තිබූ ඉඩම් පවා පවරගෙන තිබුණා. එම කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළේ චන්ද්‍රිකා සමූහ ගොවිපළවල් පවා ඇතිකර තිබුණා. ඒ වගේම ලොකු වගා සංග්‍රාමයක් දියත් කරල තිබුණා.
සුනේත්‍රා බණ්‌ඩාරනායක විවාහ වෙලා සිටියේ කුමාර රූපසිංහ සමග. ඔහු තමයි ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කළා. ඔහු ජනවේගය නමින් සංවිධානයක් ගොඩනගා තිබුණා.
අනිත් අතට ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන්ට අපරාධ යුක්‌ති කොමිෂන් සභාව යටතේ නඩු පවරා තිබුණා. ඒ වගේම විනිමය වංචාවලට අසුවූ අය අත්අඩංගුවට ගෙන තිබුණා.
සමඟි පෙරමුණ ආණ්‌ඩුව තුළත් ඉඟුරු කල්ලියක් බිහිවී තිබුණා. එහි සාමාජිකයන් ලෙස සරත් මුත්තෙට්‌ටුවේගම, වාසුදේව නානායක්‌කාර, ටෙනිසන් එදිරිසූරිය, එම්. එම්. ජිනදාස වගේ පිරිසක් කටයුතු කළා. ඒ වගේ විශාල වෙනස්‌කම් සිද්ධවෙලා තිබුණ වකවානුවක තමයි මම එළියට ආවේ.
මම සිරගත කර තිබුණ ආකාරය අනුව අපේ පිරිස සමග සම්බන්ධතා තබාගැනීමට පුළුවන් වූයේ නෑ. එම පසුබිම තුළ මම එළියට එනකොට ගිනි පුපුර විසිරිලා තිබුණා. ගිනි පුපුරේ සාමාජිකයන් නොයෙක් තැන්වල විවිධ දේවල් කරමින් සිටියා. ඒ වගේම සමහර සාමාජිකයන් රැස්‌වෙලා, මම දරපු මත අතිධාවනකාරී යන ස්‌ථාවරයේ සිට වෙනම මාවතක ගමන් කරමින් සිටියා.
එම පසුබිම තුළ මම එළියට ඒමෙන් පසුව කීප වතාවක්‌ම උත්සාහ කළා ආපසු ගිනි පුපුර ලෙස පනගන්වන්න. නමුත් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ.
නමුත් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ.
ප්‍රශ්නය - ගිනි පුපුරේ සිටි සාමාජිකයන් යොමු වී සිටි දේශපාලන ක්‍රියාකාරකම් මොනවා ද?
පිළිතුර - එක් පිරිසක් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරය කියල එකක් ගෙන ගියා. තව පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රගතිශීලී බලවේගය ශක්‌තිමත් කිරීමේ වැඩපිළිවෙලක නිරතවෙලා සිටියා. දොඩංගොඩ, කීර්ති හේවගේ වගේ අය ජනවේගයට එක් වී තිබුණා.
ප්‍රශ්නය - ඔබ හිරෙන් නිදහස් වූයේ කෙසේද?
පිළිතුර - මම නිදහස් කරන අවස්‌ථාව වන විට ජ.වි.පෙ. නොවන අයගෙන් ඉතිරිවෙලා සිටියේ මම පමණයි. මට නිදහස ලබාගැනීම සඳහා ආටිගල වාර්තාවේ සඳහන් වූ "භයානකම මිනිසා" යන සදහන බාධාවක් වී තිබුණා. එම නිසා ආරක්‍ෂක අමාත්‍යාංශය මම නිදහස් කරනවාට එකඟ වූයේ නැහැ.
එහෙම ඉන්න කොට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ඩෙස්‌මන් ප්‍රනාන්දු මහතා තමයි මම වෙනුවෙන් කටයුතු කළේ. මම නීතිඥයකු ලෙස පුහුණු වූයේ මෙරට සිටි කීර්තිමත්ම නීතිඥයකු වූ ඊ. ආර්. එස්. ආර්. කුමාරස්‌වාමි මහතා යටතේයි. එතුමා තමයි නීතිඥ සංගමයේ සභාපති ලෙස කටයුතු කළේ මම හිරේ ඉන්න කොට ඩෙස්‌මන් ප්‍රනාන්දු මහතා මාව බැලීමට වැලිකඩ සිරගෙදරට ආවා. මම නිදහස් කිරීමේ අවශ්‍යතාවය ඩෙස්‌මන් ප්‍රනාන්දු මහතාත්, කුමාරස්‌වාමි මහතාත් මැතිනියට කියල තිබෙනවා. ඒ අනුව මාව 1973 දෙසැම්බර් මැද හරියේදී නිදහස් කළා.
එහෙත් මාව නිදහස් කළේ කොන්දේසි යටතේයි. සෑම මසකට වරක්‌ම හබරාදුව පොලිසියට වාර්තා කිරීම, මම යන ගමන් සහ හමුවන අය පිළිබඳව පොලිසියට වාර්තා කිරීම යන කොන්දේසි ඒ අතරේ වූවා. ඔය අතරේ පොලිසිය මගේ ඇඟිලි සලකුණ ගන්න ඕනි කියල කිව්වා. මම කිව්වා මට කිසිම චෝදනාවක් නොමැති නිසා මගේ ඇඟිලි සලකුණ ගන්නවා නම් ඒ සඳහා අධිකරණ නියෝගයක් තිබිය යුතු බව. ඒ පාර පොලිසිය එම අදහස අත්හැරලා දැම්මා. වසරක පමණ කාලයක් මම පොලිසියට වාර්තා කළා.
මම නිදහස්‌වෙලා ආවට පසු ලබපු අත්දැකීමක් පිළිබඳවත් මේ අවස්‌ථාවේදී සඳහන් කළ යුතුයි. මම විවිධ අය ආශ්‍රය කරල තිබුණා. නිදහස ලැබීමෙන් පසු ඒ අය අතර සිටි පොහොසත් පවුල්වල අය හමුවීමට ගියහම සංග්‍රහයක් කරල, කීයක් හරි දීලා යන්න සැලැස්‌වුවා. නමුත් දිළිඳු පවුල්වල අය හමුවීමට ගියහම වුන් මාව පිළිගත්තේ පවුලේ ඥතියෙක් ආවා වාගේ.
ප්‍රශ්නය - හිරෙන් නිදහස් වීමෙන් පසුව ඔබගේ විප්ලවවාදී අදහස්‌වලට මොකද වුණේ,
පිළිතුර - ඒ වෙනකොට හිටිය මතය තමයි එක්‌තරා ඉලක්‌කයකට යාම සඳහා මහජන පෙරමුණ සමග කටයුතු කළ යුතුයි කියන එක. එම අරමුණ ඇතිව ජනවේගය සමග කටයුතු කළා.
ඒ අතරේ මා සමග හිරේ සිටිය චීන පිලේ මධ්‍යම කාරක සභිකයන් කීපදෙනකු සමග එක් වී නව ලංකා කොමියුනිස්‌ට් පක්‍ෂය පිහිට වූවා. එහි සභාපති ලෙස කටයුතු කළේ ආරියවංශ ගුණසේකර. ලේකම් ලෙස කටයුතු කළේ මම. අපි 'නව ලංකා' කියල සඟරාවක් ගැසුවා. ඒ වගේම ගරාවැටිලා තිබුණ කොමියුනිස්‌ට් පක්‍ෂයේ 'සමස්‌ථ ලංකා ගොවි සම්මේලනය" යළි ගොඩනැගුවා. එය දුෂ්කර කටයුත්තක් වූවා. එම පක්‍ෂයේ සිටිය බොහෝ දෙනෙක් 40 සහ 50 දශක වල අය. එම නිසා ඔවුන්ට හැඟීම තිබුණත්, වැඩ කිරීමේ හැකියාව අඩුයි. එම පසුබිම තුළ එම පක්‍ෂය එතරම් සාර්ථක වූයේ නැහැ.
ඒ අතරම මම චීන කොමියුනිස්‌ට් පක්‍ෂය සමග සහ ඉරාකයේ බාත් සමාජවාදී පක්‍ෂය සමග සම්බන්ධතා ඇතිකර ගත්තා. ඒ වගේම ඉන්දීය මාක්‌ස්‌වාදී කොමියුනිස්‌ට් පක්‍ෂයේ ඊ. එම්. එස්. නම්බු දිරිපාද් හමුවී සාකච්ඡා කළා.
1980 දී මම සති 5 ක් පුරා චීනයේ සංචාරය කළා. එම ගමනේදී චීන කොමියුනිස්‌ට් පක්‍ෂය ගොඩනගා ඇති ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා. ඊට අමතරව චීන කොමියුනිස්‌ට් පක්‍ෂයේ ප්‍රධාන පෙලේ නායකයන් සමග සාකච්ඡා කිරීමට අවස්‌ථාව ලැබුණා. ඒ වන විට මාවෝ සේතුංග මිය ගිහින් වසර 4 යි ගත වී තිබුණේ. 4 දෙනාගේ කල්ලියට එරෙහි අරගලය ඒ වන විට ක්‍රියාත්මව තිබුණා. මාත් සමග සාකච්ඡා කළ චීන කොමියුනිස්‌ට් නායකයන් මාවොගේ වැරැදි විවේචනය කළා. මාවොගේ ගමන් මග දැඩි ලෙස විවේචනය කරමින් ඔවුන් අලුත් මාවතකට එන්න කටයුතු කරමිනුයි සිටියේ.
මම ඒ අයගෙන් ප්‍රශ්නයක් ඇසුවා. මාවෝ ඔය තරම් වැරදි කරද්දී ඔය අය නිහඬව සිටියේ ඇයි කියන ප්‍රශ්නය තමයි මම ඇසුවේ. මාවෝ සංස්‌කෘතික විප්ලවය දියත් කළේ නැවත ධනවාදයට යොමු නොවන පරාර්ථය සඳහා යොමු වූ නව මිනිසකු සඳහායි. මම අපහු ප්‍රශ්නයට ඔවුන් දුන්න උත්තරය තමයි සහෝදරයට කෙරෙන්නේ නෑ පක්‍ෂය ඇතුළේ තිබුණ තත්ත්වය, අපට ශක්‌තියක් තිබුණේ නෑ කියල ඔවුන් කිව්වා.
ඉන් පසුව 1985 දීත් මම චීනයට ගියා. ඒ යනකොට මම මුලින් දැකපු චීනය නෙවෙයි තිබුණේ. ධනවාදී කියල අපි බැහැර කරන බොහෝ දේවල් චීණය ඇතුලේ ඉස්‌මතු වනවා මම දැක්‌කා. මම ගියා "චු හායි" නිදහස් වෙළෙඳ කලාපය බැලීමට. එම කටයුතු සාධාරණය කිරීම සඳහා ඔවුන් මා සමග කිව්වේ අලුත් වෙනස්‌කම් සඳහා ඔවුන් කටයුතු කරන බවයි.
එම සංචාරවලදී මට එකක් පැහැදිලි වූවා, අපි අපේක්‍ෂා කළ සමාජවාදී හරයන්ගෙන් යුතු හඬ මිනිසා බිහි නොවන බව. ඒ වගේම වසර 20 ක දීර්ඝ සටනක් තුළින් ගොඩනැඟීමට අපේක්‍ෂා කළ සමාජය සීඝ්‍ර වෙනසකට ගොදුරු වෙනවා කියන එක මට පෙනුණා.
අපි අපේක්‍ෂා කළේ ප්‍රචණ්‌ඩ විප්ලවයකින් බලය ඇල්ලීමට. මිනිසුන් මැරෙනවා එතකොට. මම කල්පනා කළා මිනිසුන්ගේ මරණය තුළින් ගොඩනගන සමාජය වසර දෙකකින් වෙනස් වෙනවා නම්, අර කරන පරිත්‍යාගයේ තේරුමක් තියෙනවාද කියන එක.
ඒ සමගම මම නිගමනය කළා විප්ලවය සඳහා ලේ වගුරුවනවා කියන එක තේරුමක් නැහැ කියන එක. ඒ සමගම මම තීරණය කළා විප්ලවීය දේශපාලනය අත්හැර දාන්න.
ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබ දැන් මාක්‌ස්‌වාදය පිළිගන්නේ නෑ?
පිළිතුර - ධනවාදයේ වර්ධනය අවසානයේ සමාජවාදී විප්ලවය සිදුවනවා කියන එක මම පිළිගන්නේ නෑ. ඒ වගේම භෞතික සාධක විසින්ම චින්තනය වෙනස් වනවා කියන එක මම පිළිගන්නේ නැහැ. ඒ ආකාරයෙන් මම දැන් මාක්‌ස් කියපු සියලු දේවල් ඒ ආකාරයෙන්ම පිළිගන්නේ නෑ.
''චෙතනාහම් භික්‌කවේ, කම්මන් වදාමි" යන වදන තමයි මම දැන් පිළිගන්නේ. සමජය සහ මිනිසුන් හොඳ හෝ නරක කරන්නේ හොඳ සිතුවිලි මගින් මිස භෞතික සිතුවිලි මගින් නොවන බව තමයි දැන් මගේ පිළිගැනීම.
ප්‍රශ්නය - ඔබ මෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණේ නිර්මාතෘවරයා වන රෝහණ විෙ-වීර මහතාත් චීණ පිලේ සාමාජිකයෙක්. විෙ-වීර මහතා සහ ඔබ අතර සම්බන්ධයක් තිබුණේ නැද්ද? ඔහු ඔබට කොක්‌කක් ගහන්න ආවේ නැද්ද?
පිළිතුර - විෙ-වීර 1964 සිට මගේ මිත්‍රයෙක් අපේ ගෙදරත් ගිහින් තිබෙනවා. අපි චීන පිලේ සිටියා. 1967 දී පමණ චීන පිල මගින් නව නගර ශාලාවේ ෙච් අනුස්‌මරණ රැස්‌වීමක් පැවැත්වුවා. එම අවස්‌ථාවේදීත් විෙ-වීර මට හමුවුවා. එම රැස්‌වීමේදී ප්‍රේමලාල් කුමාරසිරි ප්‍රධාන කතිකයා ලෙස හද කකියවන කතාවක් කළා.
විෙ-වීර මම සමග කතාබහ කළත්, දේශපාලනය කතා කළේ නෑ. ඔහු දන්නවා කොකු ගහන්න පුළුවන් අය බැරි අය කවුද කියලා. එම නිසා මට කොකු ගහන්න ආවේ නෑ.
1980 ජුලි මාසයේදී ඉරාකයේ සතියක් පුරා කළ සංචාරය තුළදීත් විෙ-වීර හමුවුවා. එම කාලය තුළ දීත් පුද්ගලික දේ කතා කළත් දේශපාලනය නම් කතා කළේ නෑ.
ප්‍රශ්නය - රාජිනී තිරාණගම ඔබේ ඥතියෙක්‌ද?
පිළිතුර - එයා මගේ ඥති සහෝදරයකුගේ බිරිඳ. දයාපාල තිරාණගමගේගේ බිරිඳ. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයකු ලෙස කටයුතු කළා. දැන් ඉන්නේ ලන්ඩන්වල.
ප්‍රශ්නය - මේ වන විට දේශපාලන කටයුතු වල නිරත වන්නේ නැද්ද?
පිළිතුර - එක්‌සත් ජාතික පක්‍ෂය නොවන පක්‍ෂ සමග මගේ හිතවත්කම් තිබෙනවා.
ප්‍රශ්නය - දැන් ඔබ කටයුතු කරන මානවහිමිකම් සහ සංවර්ධන පිළිබඳ නීතිඥයන්ගේ සංගමය පිහිටවූයේ කවදාද?
පිළිතුර - 1986 ජුනි මාසයේදී මෙම සංවිධානය පිහිටුවීමට කටයුතු කළා. මම දන්නවා මිනිසුන්ට ගහන හැටි, බොරු නඩු දාන හැටි. සමාජ ක්‍රමය වෙනස් කිරීමට බැරිවුවත් මේ තුළින් සහනයක් ලබාදීමට කටයුතු කරනවා.
ප්‍රශ්නය - ඔබගේ පවුලේ විස්‌තර මොනවාද?
පිළිතුර - බිරිඳ විශ්‍රාමික ගුරුවරියක්. ඇය ගාල්ලේ සහ කොළඹ පාසල් කිහිපයකම වැඩ කළා. මට දුල 4 ක් සහ එක් පුතෙක් සිටිනවා.
එරික් ගාමිණී ජිනප්‍රිය