අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'මේ නඩුව දැන් ඉස්සරහට ගෙන යන්නේ කොහොමද? නීතිපති දෙපාර්තමේන්තුව දෙපැත්තට බෙදීල !

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'මේ නඩුව දැන් ඉස්සරහට ගෙන යන්නේ කොහොමද? නීතිපති දෙපාර්තමේන්තුව දෙපැත්තට බෙදීල !

හිටපු ජනපති රනිල් සිංගප්පූරුවේ සැත්කමට ගොස් සතියක් සම්පූර්ණ වන විට වූ සුවිශේෂී සිදුවීම වන්නේ ඔහුගේ 77 වෙනි උපන් දිනය යෙදීමයි.


රනිල්ට අදාළ සැත්කම කරන ලද්දේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍ය sevadasan ය.

ඔහු ශ්‍රී ලංකාවේ කළු ජූලිය අවස්ථාවේ සිංගප්පූරුව බලා ගිය දක්ෂ වෛද්‍යවරයෙකි. ඔහු ලෝකයේම හෘද සැත්කම් වලට සිටින ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන් අතරින් කෙනෙක් ලෙස නම් දරා සිටී.

ranil hospital 250828

ගෝඨාභය ජනපති අපේක්ෂක ලෙස නම් කළ සමයේ ඔහුගේ හෘද සැත්කම සිදුකරන ලද්දේත්, හිටපු සෞඛ්‍ය ඇමති රාජිතගේ හෘද සැත්කම කළේත් මෙම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයා විසිනි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සොයුරු චන්න වික්‍රමසිංහ ඇතුළු පවුලේ සාමාජිකයෝද රනිල් සමග සිංගප්පූරුවට ගියහ. සැත්කමින් සතියකට පසු චන්න ඇතුළු පවුලේ සාමාජිකයෝ නැවත ලංකාවට පැමිණියහ.

රෝහල් ගතව සිටි රනිල්ගේ සැප දුක් විමසීම සඳහා සභාපති වජිර, ජාතික සංවිධායක සාගල, වජිරගේ පුත් තීක්ෂණ අබේවර්ධන ද පසුව සිංගප්පූරුව බලා ගියහ.

රනිල්ගේ උපන් දිනයේ යෙදුණු ඉකුත්  24 වැනිදා වජිර වෛද්‍යවරයාගේ අනුමැතිය පරිදි රෝහල් කාමරයට කේක් ගෙඩියක් ගෙන ගොස් චාම් උපන්දින සැමරුමක් සංවිධාන කළේය. මහාචාර්ය මෛත්‍රී, වජිර, සාගල, තීක්ෂණ මෙන්ම වෛද්‍යවරයා පමණක් ඊට සහභාගී වූහ.

සැත්කමින් පසුව රනිල් මේ වන විට කෙමෙන් කෙමෙන් සුවය ලබමින් සිටී.

ranil phone
සැත්කම සිදුකර සතියකින් පසු රනිල් රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරිණි. සුව වෙමින් පවතින කාලයේදී වෛද්‍යවරයා රනිල්ට දුරකථන ඇමතුම් තහනම් කර ඇත. අමුත්තන්ට බැහැ දැකීමද තහනම්ය.

ගුවන් ගමන් සඳහා සුදුසු සෞඛ්‍ය තත්ත්වයට පැමිණි සැණින් රනිල් යළි මව්බිමට පැමිණීමට නියමිතය.

රනිල්ගේ සැත්කම කළ වෛද්‍යවරයාට වජිර සිංගප්පූරුවේදී දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනමා තිබෙන බව ආරංචිය.

රනිල්ගේ උපන්දිනය වෙනුවෙන් වෙනදාට වඩා සමාජයේ කතා බහක් ..

ඊට අමතරව රනිල්ගේ උපන්දිනය වෙනුවෙන් වෙනදාට වඩා සමාජයේ කතා බහක් මෙන්ම උනන්දුවක් ඇතිවී තිබිණි. රටේ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය මෙන්ම රනිල්  ප්‍රතිකාර සඳහා රටින් බැහැරව සිටීමද එම උනන්දුවට එක් හේතුවක් විය.

fuel queues 260318

මුද්‍රිත මාධ්‍ය වල රනිල් පිළිබඳව ලිපි පළ කිරීමට හිතවතුන්ගේ මෙන්ම සාක්ෂිකයන්ගේ වැඩි උනන්දුවක් දැකගත හැකි වූ අතර පුවත්පත් කතුවරුන්ද ඒ සම්බන්ධයෙන් රනිල්ගේ සමීපතමයන් දැනුවත් කර තිබිණි.

හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක, රනිල් ජනපති සමයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න සහ ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ මේ පිළිබඳව ගන්නා පියවර සාකච්ඡා කළහ.

ඒ අනුව පුවත්පත් කර්තෘවරුන් සමග සාකච්ඡා කර එකම ලිපිය තැන් දෙකක පළ නොවන ලෙස සැලසුමක් හදා විධිමත්ව ලිපි පළ කිරීමට වැඩපිළිවෙලක් සකස් කළේය.

රනිල්ගේ උපදෙස් මත මහාචාර්ය ජී.එල්. ගේමට බසී !

අධි ආරක්ෂිත කලාපයක් ආසන්නයේ වෙඩි තබා නීතිඥ යුවළ ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුව ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්දැයි සැත්කමට යාමට පෙර රනිල් , මහාචාර්ය ජී.එල් ගෙන් විමසීය.

විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කර පුළුල් තීරණයකට එළඹීම රනිල්ගේ මෙන්ම ජී.එල් ගේද මතය විය. එහි පියවරක් වශයෙන් සියලු පක්ෂ නායකයන්ගේ අත්සනින් යුතුව ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටද තීරණය විය.

gr 1

gr 2

gr3
ජී.එල් ඉංග්‍රීසි භාෂාවෙන් එම ලියවිල්ල සකස් කළේය. ඒ සඳහා පක්ෂ නායකයන්ගේ අත්සන් ගැනීමට වජිර මෙන්ම දොළොවත්ත මුල් වී ක්‍රියා කළහ.

ඒ ඒකාබද්ධ ප්‍රකාශය මාධ්‍යයට නිකුත් කෙරුණේ ඉකුත් සතියේදීය. රනිල්, සජිත්, නාමල් ඇතුළු පක්ෂ නායකයෝ 17 දෙනෙක් මේ ප්‍රකාශයට අත්සන් කළහ. ජාත්‍යන්තර සංවිධාන 12කට මෙම ලිපිය යොමු කරනු ලැබීය.

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමු ..

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමු දිගින් දිගටම පැවැත්වීම සම්බන්ධයෙන් ද රනිල් සැත්කමට යාමට පෙර ජී.එල් සමඟ කතිකා කරගෙන තිබිණි.

එහි දෙවැනි මාධ්‍ය හමුව පැවැත්වුණේ ඉකුත් සතියේ බදාදාය. ඒ ඇන්.ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදීය. ජී.එල්, ලසන්ත අලගියවන්න, සංජීව එදිරිමාන්න, අජිත් මාන්නප්පෙරුම මෙහි අදහස් දැක්වූහ.

කොමියුනිස්ට් පක්ෂය සමඟ සම්බන්ධවී නිපොන් හෝටලයේදී පවත්වන මාධ්‍ය හමුවකට සහභාගී වන ලෙස අසාත් සාලිගෙන් සහ රාජිතගෙන් ජී.එල් ට ඇරැයුමක් ලැබිණි. එම මාධ්‍ය හමුව ද යෙදී තිබුණේ බදාදා දිනයේම හෙයින් ජී.එල් පැවසූයේ තමා අවසාන මොහොතේදී හෝ විනාඩි පහකට ඇවිත් යන්නට බලාපොරොත්තු වෙන බවයි.

ඒ අනුව ජී.එල් තේමා දෙකක් ඔස්සේ මාධ්‍ය හමු වල අදහස් පළ කළේය.

ශ්‍රී ලාංකික ජනතාව වර්තමානයේ විදින අසාමාන්‍ය දුකට සහ පීඩනයට හේතුව යුද්ධය පමණක් නොවන බවත් ජනතා දුකට සහ පීඩනයට ආසන්නතම හේතුව වර්තමාන ආණ්ඩුවේ වංචාව සහ කළමනාකරණයක් නොමැතිවීම බවත් මහාචාර්ය ජී.එල් එහිදී මූලික වශයෙන්ම සඳහන් කළේය.

මෙම සියලු ගැටලු සහ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ වංචාව බවද මෙම තත්වය හමුවේ ජනතාව පුදුමාකාර දුකක් විදින අතර නැව් 10 කින් ආනයනය කළ ගල්අගුරු ගුණාත්මක බවින්  අඩු බාල ගල්අගුරු බව ජී.එල් එහිදී කීය.

" බාල ගල් අගුරු වල පාඩුව මඟහරවා ගන්නා  ඩීසල් පාවිච්චි කරන්න සිද්ධ වෙලා. එම ප්‍රමාණය ස්වල්පයක්  නොවේ. දිනකට ඩීසල් බැරල් ලක්‍ෂ 8 ක්.

මෙම තත්වය  විදුලිබල කප්පාදුවට බලපාන අතර තෙල්පිරිපහදුව වසා දැමීමේ අවදානමක් තියෙනවා. සිංහල අවුරුදු කාලය වන විට තෙල් පිරිපහදුව වසාදැමුව හොත් විදුලිබල කප්පාවක් කිරීමට අනිවාර්යෙන් සිදුවන බව කිසිදු සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකියි.

දරාගැනීමට නොහැකි තරමකට ඉන්ධන මිල ඉහළ යෑම නිසා ජන ජීවිතයේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටෙන තත්වයක් මේ වන විට උදා වෙලා.

ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය සිමෙන්ති ඇතුළු සියලුම ද්‍රව්‍ය දළ වශයෙන් සියයට 15 ක පමණ ප්‍රතිශතයකින් ඉහළ ගිහින්.

සම්පූර්ණයෙන් බොරු කියා බලය ලබාගත්ත මාලිමාව  අද වන විට බලය රඳවාගැනීමට ද සම්පූර්ණ බොරුව පාවිච්චි කරනවා.

ජී.එල් වර්තමානයේ රට මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය ඉතා පැහැදිලි අයුරින්  විස්තර කරන අතර තවත් අනතුරක සේයාවක් ගෙනහැර දැක්වීය.

GL260326
" ආනනයන මත පනවා ඇති සෙස් බද්ධ සහ වරාය, නැව් තොටුපොල වලට අයකරන බද්ධ අප්‍රේල් මස 1 වැනිදායින් පසුව ක්‍රමක් ක්‍රමයෙන් ඉවත්කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.මෙය අතිශයින් හානිකර තීරණයක්. එසේ කළ හොත් මෙරට දේශීය කර්මාන්ත වල අනාගතය දැඩි අනතුරකට පත් වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියයට 90 ක් කඩා වැටෙනවා. සෙස් බද්ධ සහ වරාය, නැව් තොටුපොලවලට අයකරන බද්ධ ඉවත් කළහොත් වන හානිය කිසිසේත් අව තක්සේරු කරන්නට හැකියාවක් නැහැ''යනුවෙන්ද ජී.එල් කීය.

ආණ්ඩුව අභ්‍යන්තරයේ ද විශාල අර්බුදකාරී තත්ත්වයක්

රහස් පොලිසිය නීතියේ මූලික ක්‍රමවේදයට පරිබාහිරව එංගලන්තයේ වුල්වහැමිටන් විශ්ව විද්‍යාලයෙන් රනිල්ගේ ගමන ගැන තොරතුරු ඉල්ලා තිබිණි.

සාමාන්‍යයෙන් එලෙස ඉල්ලීම් කළ විට තොරතුරු ලබාදීමට විශ්ව විද්‍යාලයක් බැඳී නැත. එංගලන්තයෙන් තොරතුරු ලබා ගැනීමේ වෙනම ක්‍රමවේදයක් පවතී. නමුත් විශ්ව විද්‍යාලය රහස් පොලිසිය යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් ඊමේල්  පණිවිඩයක් එවීමට කටයුතු කර තිබිණි.

ranil2

වුල්වහැම්ටන් සරසවිය රනිල්ට නිල ආරාධනයක් කළ බවත් ඒ අනුව ඔහු ඊට සහභාගී වූ බවත් එම පිළිතුරෙහි සඳහන් වී තිබිණි. මෙම පිළිතුර ලැබීමත් සමග රහස් පොලිසිය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ද ආණ්ඩුව අභ්‍යන්තරයේ ද විශාල අර්බුදකාරී තත්ත්වයක් මතු වී තිබෙන බව ආරංචිය.

" මේ නඩුව දැන් ඉස්සරහට ගෙන යන්නේ කොහොමද" යන කාරණය මේ අර්බුදකාරී තත්ත්වය ඇතිවීමට මූලික හේතුවයි.

නඩුව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති හෙයින්  නීතිපති දෙපාර්තමේන්තුවද දෙපැත්තට බෙදී තිබෙන බව ආරංචිය. පරීක්ෂණ අවසන් නොකළ නඩු නිමිත්තකට ගියා යැයි නිලධාරීන් එකිනෙකා චෝදනා කරමින් බව කනින් කොනින් ආරංචි වෙයි.


(සටහන | මල් පාරේ ලියුම්කරු) 

theleader.lk 

Search