රනිල් : මේ රටේ පාලකයා වශයෙන් ඔබ කළ මෙහෙවරට, නිසි තැන හිමි වනුයේ අද නොව අනාගතයේදීය | වජිර අබේවර්ධන

රනිල් : මේ රටේ පාලකයා වශයෙන් ඔබ කළ මෙහෙවරට, නිසි තැන හිමි වනුයේ අද නොව අනාගතයේදීය | වජිර අබේවර්ධන

(2026 මාර්තු 24 දිනට යෙදෙන Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ 77 වැනි ජන්ම දිනය වෙනුවෙනි)

ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව විවිධ කාලවලදී ජාතික, ආගමික, සමාජීය, ආර්ථික වශයෙන් ඇද වැටී වියවුලට පත්ව තිබූ අවස්ථා පිළිබඳව මහවංශ ආදී ඉතිහාස ග්‍රන්ථවල සටහන්ව ඇත. එම සියලුම අවස්ථාවලදී එම තත්ත්වයෙන් රට මුදවාගෙන යළිත් සුඛිත මුදිත රටක් ගොඩ නගන්නට සුදුසු නායකයා රට තුළින් බිහිවූ අයුරු එම ඉතිහාස ග්‍රන්ථවල මැනවින් දක්වා ඇත.

 

ගෙවී ගිය 2022 වසර ශ්‍රී ලාංකික ජනතාව ගෙවා දමන්නේද එවැනි අඳුරු කාලපරිච්ඡේදයකි. කෙසේ නමුත් එම අඳුර නිවා යළිත් දේශය නගා සිටුවීමට සුදුසු නායකයා නියමිත කලට බිහිවූයේ ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන් බව අප සියල්ලම දන්නා කරුණකි. අප මේ කතා කරන්නේ අන් කවරෙවකු ගැන හෝ නොව එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික නායකයා පිළිබඳවය. 

 

RANIL 1
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජන්ම ලාභය ලැබ අදට වසර 77ක් සම්පූර්ණ වේ. 1948 න් පසු නිදහස් ලංකාවේ උපත ලද රනිල් වික්‍රමසිංහ මහතා දකුණු සිරිලක ගිංගඟ මිටියාවතේ බද්දේගම විසූ පරපුරක පැවත එන්නෙකි. ඔහුගේ දේශපාලන උරුමයේ සමාරම්භය 1917 දක්වා තරම් ඈතට විහිදී යයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මුත්තණුවන් වූ ලංකාවේ ප්‍රථම සිංහල දිසාපති වරයා වන සී.එල්. වික්‍රමසිංහ මහතා නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ වරයා වූ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සමකාලීනයෙකි. ඔහු 1917 වසරේ ගාලු ජාතික සංගමය නම් රුහුණේ ප්‍රථම දේශපාලන සංවිධානය බිහි කරන විට එහි තවත් පුරෝගාමියෙකු වශයෙන් සී.එල්. වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත. 1923 වසරේදී දකුණු පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයා ලෙස ව්‍යවස්ථාදායක සභාවය කන්නන්ගර මහතා ඡන්දයෙන් ජය ලබා යන විට ගාලු ජාතික සංගමයේ එතුමා දැරූ ලේකම් පදවිය හිමිවන්නේ සී.එල්. වික්‍රමසිංහ මහතාටය. එතුමන්ගේ වැඩිමහල් පුතණුවන් වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන්ය.

 

නිදහස් ලංකාවක් සඳහා ජාතික නායකයන් ගෙන ගිය අරගලයට දැනුමෙන්ද, ධනයෙන්ද, කාලයෙන්ද පරිත්‍යාගයන් සිදු කළ ඩී.ආර්. විජේවර්ධන මහතා ලංකාවේ පත්තර මහ ගෙදර නිර්මාණය කළ ආදි කර්තෘවරයා විය. එතුමාගේ දියණිය වූ නාලිනි විජේවර්ධන මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතාගේ දයාබර මෑණියන්ය. මෙතුමියගේ පවුලට උපන් දෙවෙනි දරුවා උපන්නේ 1949 මාර්තු 24 වෙනිදාය. එසේ උපන් දරුවා වූයේ අද සිය උපන් දිනය සමරන ලක්දිව අටවෙනි විධායක ජනාධිපති, වත්මන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය.

 

ranilpix3
කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිය හදාර නීතීඥයෙකු වශයෙන් මීට වසර පනහකට පමණ පෙර දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඇරයුමෙන් දේශපාලනයට එක්වන්නේ සම්බුදු පා පහස ලද ඓතිහාසික කැළණිය පුරවරයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක වරයා වශයෙන් 1975 වසරේදී ය.

දේශපාලනයේ ක්‍රියාකාරී චරිතයක් වූ රනිල් පක්ෂය තුළ නීතීඥයන්ගේ සංගමයක් පිහිටුවීමේ පුරෝගාමි මෙහෙයරේ යෙදින. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නීතීඥ සංගමය ඇරඹිණි. රටේ අධ්‍යාපනය පිළිබඳව තරුණ අවධියේ සිටම අවධානය යොමු කර එක්සත් ජාතික පක්ෂයේ ජාතික අධ්‍යාපන සේවක සංගමය පිහිටුවීමට ද රනිල් වික්‍රමසිංහ මහතා පෙරමුණ ගෙන ක්‍රියා කළේය.

එවකට පැවැති මැතිවරණ තීරණය කිරීමේ කොමිසමේ නිර්දේශය පරිදි කැළණිය ආසනය දෙකකට බෙදී වෙන්කර අභිනවයෙන් බියගම නමින් නව මැතිවරණ කොට්ඨාසයක් බිහිවිය. ඒ අනුව කැළණියේ එ.ජා.ප. සංවිධායක වරයා වූ රනිල් බියගම ආසනයේ අභිනව සංවිධායක පදවියට පත් වූයේ කැළණියේ සංවිධායක ධූරය හිටපු අමැතිවරයෙකු වූ සී. සිරිල් මැතිව් මහතාට පිරි නමමිනි.

JR Ranil e1665337705550

 

1977 වසරේ ජූලි 21 වැනි දින පැවැති මහ මැතිවරණයෙන් බියගම අසුන ජයගෙන මැති සබයට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතා ජේ.ආර්. ජයවර්ධන මහතා පිහිට වූ නව එක්සත් ජාතික පක්ෂ රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධූරයට පත්විනි. පසුව පැවැති නව කැබිනට් සංශෝධනයේදී එම රජයේ ලාබාලම ඇමති පදවියට 1978 වසරේදී පත් වූ රනිල් රනිල් වික්‍රමසිංහ මහතා යෞවන කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යවරයා විය.

1965 වසරේ බිහිවූ එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ඇමතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ ජාතික තරුණ සේවා සභාව 1978 වන විට පැවතියේ ඉතා මන්දගාමී තත්ත්වයකය. එම තත්ත්වය මුලිනුපුටා දමා ජාතික තරුණ සේවා සභාව මේ රටේ තරුණ තරුණියන්ගේ ජීවිතයේ කොටසක් බවට පත්කිරීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතාට හැකි විය. රටට ගමට අවශය තරුණ නායක නායකයින් රාශියක් තරුණ සේවා සභාව හරහා බිහි විය.

පසුව අධ්‍යාපන ඇමති පදවියද විටෙක කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමති පදවියට ද පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා 1989 පැවති මහ මැතිවරණයෙන් ජයගත් එක්සත් ජාතික පක්ෂ රජයේ මැති සබයේ සභානායක පදවියට පත්විය. එවකට ජනාධිපති පදවිය දැරූ ආර්.ප්‍රේමදාස මහතාට එරෙහිව පක්ෂය තුළින්ම එල්ලවූ දෝෂාභියෝගයේදී තම පක්ෂයත්, නායකයත් රැක ගැනීමට විශාල මෙහෙවරක් ඉටුකළ රනිල් වික්‍රමසිංහ මහතා එම අර්බුධයෙන් ජනාධිපතිවරයා බේරා ගත්තේ සිය දේශපාලන බුද්ධිය මනාව කළමණාකරනය කරගනිමිනි.

 

SRI LANKA - NOVEMBER 17:  Sri Lankan opposition leader Ranil Wickremesinghe speaks to the press after voting at a polling station in Colombo Thursday, November 17, 2005. Sri Lanka deployed 100,000 police and soldiers as polls opened in a presidential election that will determine the course of negotiations to end the South Asian nation's two-decade civil war.  (Photo by Sebastian Posingis/Bloomberg via Getty Images)

1993 වසරේදී ජනාධිපති පදවිය දැරූ ආර්. ප්‍රේමදාස මහතාගේ ඝාතනය නිසා එවකට අගමැති පදවිය දැරූ ඩී.බී. විජයතුංග මහතා ජනාධිපති පදවියට පත් වූ හෙයින් හිස් වූ අගමැති පදවියට රනිල් වික්‍රමසිංහ මහතා පත්වූයේ මෙරට අගමැති පදවියට පත් වූ දස වැන්නා ලෙසය. ඩී.බී. විජේතුංග මහතාගේ දේශපාලන විශ්‍රාමයත් සමගම 1994 වසරේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා 1994 වසරේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවියට පත්වූයේ ගාමිනි දිසානායක මහතාගේ හදීසි අභාවයත් සමගය.

එතැන් සිට මැති සබයේ විපක්ෂ නායක පදවියත් අගමැති පදවියත් හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ වැඩිම වාර ගණනක් අගමැති පදවියට පත් වූ දේශපාලඥයා ලෙස තබා ඇති වාර්තාව ද අති විශේෂය.

රනිල් වික්‍රමසිංහ මහතා දෙවනුව තැබූ ලෝක දේශපාලනික වාර්තාව වූයේ මැති සබයේ තම පක්ෂය සතුව තිබූ එකම මන්ත්‍රී ධූරයෙන් මැති සබයට පිවිස අගමැති වී ජනපති වීමය. එය එතුමාගේ දේශපාලන දිවි ගමනේ උච්චතම අවස්ථාව විය. එතුමා ජනාධිපති වූයේ නිලවශයෙන් බංකොළොත් යැයි ප්‍රකාශ වූ රටකය. ජනතාවගේ කුසට ආහාරයක් නොමැතිව දුක් විඳිමින් සිටියදී, රටේ කිසිම වාහනයකට කර්මාන්ත ශාලාවකට ඉන්ධන නොමැති අවස්ථාවකදී, දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති සියලු පාසල් වැසී තිබියදී, රටට විදුලිය නොමැතිව අඳුරේ ගිලී තිබියදී, මුළුතැන් ගෙවල්වල ගෑස් උඳුන් වලට ගෑස් නොමැතිව යළි දර ලිප ගිනි දැල්වුණු වෙලාවක, විදුලි උඳුන් පුපුරා ගොස් කිහිප දෙනෙක් ජීවිතක්ෂයටද පත් වූ අවස්ථාවක, විවිධ පෝලිම්වල ජනතාව මහ මග මහ අව්වේ වැස්සේ නොකා නොබී මිය ගිය අවස්ථාවක. ලෙඩට බෙහෙත් නොමැතිව රෝහල්වල ජනතාව දුක් විඳිමින් සිටියදී, මෙවන් රටක රාජ්‍ය පාලනය අරාජික වෙමින් තිබුණි.

රටේ පාලකයෝ පෑල දොරින් පළා ගියහ. මන්ත්‍රීවරුන් මහ මග සිත්පිත් නොමැති ත්‍රස්තවාදීන් අතින් ඉතා අමානුෂික ලෙස ඝාතනය විය. ඔවුන්ගේ දේපොළ ගිනිතබා වැනසුවේ පොළොන්නරු යුගයේ කාලිංග මාඟ ආක්‍රමණය සිදුවූ අයුරිනි.

 

aragalaya 2022.7.14

මැති සබය වටළා බලය ඇල්ලීමට අරගල කරුවො සූදානම් වී පාරට බැස්සාය. ජනපති මැදුරු කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, නිල මැදුර අරගල කරුවන් අත්පත් කරගෙන තිබුණි. මෙවන් බිහිසුණු යුගයක රාජ්‍ය භාර ගන්නා ලෙස විපක්ෂයේ සිටින නායකයන්ට එවකට සිටි රාජ්‍ය නායකයා ඇරයුම් කළත් කිසිවෙකු එය භාරගත්තේ නැත.

මේ අඳුර දුරලා රට රැකීමේ අභියෝගය භාරගන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු පළමුවෙන් රාජ්‍ය ස්ථාවරත්වය තහවුරු කළේය. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත්හ. ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් යළි ලබා දීමට ක්‍රමානුකූලව පියවර ගන්නට විය. රටේ ආර්ථික අඳුර නිවාලන්නට ගත් වෙහෙස තුළින් රට ස්ථාවරත්වයට පත් වන්නට විය.

“ලාංකිකයින්ට ඕනෑම දෙයක් මතක තිබෙන්නේ සති දෙකක් පමණයි” මේ ශ්‍රී ලාංකේය අප සෑමදෙනාම දන්නා ඉතා ප්‍රසිද්ද කියමනකි. රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග මැද ජනාධිපතිධුරය බාරගෙන අවුරුදු දෙක හමාරක් පිරුණු තැන  ජනාධිපතිවරණය පවත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වඩා ඉහළින් කිසිම දෙයක් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා තරයේ විශ්වාස කරන බැවිනි.

 

puluwan sri lanka240830

රට ඉතා අමාරු අඩියකින් ගොඩගනිමින් සිටිනා අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස පැමිණෙන්නේ තමන් රට ගෙන යන මාවත තමන්ට විශ්වාස නිසාත් ඒ මාවතෙන් තොර රට ඉදිරියට ගෙන යාමට වෙනත් මාවතක් නොමැති බව තමන් හොඳින් දන්නා නිසාත්ය.

 

එතුමා තමන්ගේ රටේ මහජනතාවට වේදිකාවක් වේදිකාවක් පාසා පවසන්නේ අපි යන මාවත වෙනස් කරන්න එපා, ඔබ එසේ කළහොත් ඔබට නැවත පෝලිම්වල දුක් විඳිමට සිදුවන බව නොඅනුමාන බව පවසමිනි. නමුත් ශ්‍රී ලාංකේය මහජනතාව එතුමාගේ වචනය තඹ දොයිතුවකට හෝ මායිම් නොකර බොරුව වැළඳගෙන වෙනත් අයෙකු ජනාධිපති පුටුවේ හිඳුවන්නේ තමන්ගේ ඇති දේශපාලන දැනුමද මොනවට පැහැදිලි කරමිනි.

 

කෙසේ නමුත් කාලය දැන් ගෙවී ඇත. නැවත වරක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා කිවු වදන් ශ්‍රී ලාංකික ජනතාවගේ සිහියට නැගෙන්නට වී ඇත්තේ ඒ කිවු සෑම දෙයක්ම තාත්විකවම සත්‍ය බව තමන්ගේ ඇස් දෙකටම දකින්නට වී ඇති නිසාවෙනි.

රන්ල වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයෙන් ඉවත් වී වසර දෙකක්වත් ගත වී නොමැත. රට ඉදිරියට යාම සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇත. සෑම තැනකම ඉන්ධන පෝලිම් දක්නට ඇත. ඇතැම් ආහාර පාන සඳහා කෝටා පනවා ඇත. සහල් මිල පාලනයකින් තොරවම ඉහළ ගොස් ඇත. ලක්ෂ 12 ට විට්ස් කාර්ද නොමැත. තිබෙන වාහනවලට ගැසීමට පෙට්ට්‍රල්ද නොමැත. විදුලි කප්පාදුවද අත ළඟය. එළවළු මිල අහස උසට ගොස් ඇත. ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමට නම් ආණ්ඩුවේ මහ පුටුවල ඉන්නා අයගේ ගෑස් බැලීමට සිදුව ඇත. මේ පටන් ගත්තා පමණි.

බොරුව සත්‍යයට වඩා ඉක්මනින් ජනතාව අතරට පැතිර ගියත් බොරුවට වැඩි ආයුශ නොමැත. මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි යනු පන්සිල් පදවලින් එකකි. එහෙත් වර්තමාන ආණ්ඩුවට ඒ ගැන වගේ වගක් නැත. මේ තරම් දෙයක් රටට සිදුව ඇතත් බොරු කීමේනම් අඩුවක් නොමැත.

 

fuel queues 260318
රටේ ජනතාවට අද නැවත වරක් රනිල් වික්‍රමසිංහයන්ගේ අගය දැනෙන්නට පටන් ගෙන ඇත. ඒ බව දන්නා රනිල්, තමන් රට බාරදෙන විට තමන්ගේ වචනයෙන්ම පැවසුවේ.

“මගේ ඓතිහාසික දේශපාලනික කාර්යභාරය ගැන මේ රටේ අනාගත පරපුර නිසි ලෙස තක්සේරුවක් ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා. මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා” එයද අද ඔප්පු වී හමාරය.

රටේ ජනතාවට අද රනිල් වික්‍රමසිංහයන්ගේ අගය දැනෙන්ට පටන් ගෙන ඇති මේ අවස්ථාවේ සමස්ථ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වශයෙන් මා ඔබට සුබ ජන්ම දිනයක් පතන්නෙමි.

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නැවත ඔබගේ සේවය අවශ්‍ය වන දිනය වැඩ ඈතක නොවන බවද සිහිපත් කරන්නෙමු.....


(සටහන | වජිර අබේවර්ධන)
එක්සත් ජාතික පක්ෂ සභාපති

 

theleader.lk 

Search