විපක්ෂයේ ආණ්ඩු විරෝධී ප්‍රචාරණ මෙහෙයුමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ විපක්ෂයට ඡන්දය දුන් පිරිස විපක්ෂයට පක්ෂව දිගටම තව වසර පහක් තබාගැනීම බව සිතිය හැක. එම උපක්‍රමය අසාර්ථක නැත.
ආණ්ඩුව පිළිබඳව දෛනිකව කලකිරීම් ඇතිකිරීම සහ ඒහරහා විපක්ෂය නිවැරදිය යන මතය දීර්ග කාලීනව ජනගත කිරීම සඳහා කැපවුණු දැවැන්ත සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් සහ සම්ප්‍රදායික ඉලෙක්ට්‍රොනික සහ මුද්‍රිත මාධ්‍ය ව්‍යාපාරයක් විපක්ෂය විසින් දියත් කර තිබේ. එහිදී භාහිරව සහ අභ්‍යන්තරව අරමුදල් සපයන ව්‍යාපාරික සහ ජාත්‍යන්තර බලවේග පවතින බව සාධාරණව සිතිය හැක.

මන්ද විපක්ෂ ප්‍රචාරණ ව්‍යාපාරයේ පවතින තීව්‍රතාව, අඛණ්ඩතාව සහ සංවිධානාත්මක බව සහ මූලෝපායික සාම්‍යතාවය දෙස බලන විට එයට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය බව පෙනී යයි. ජන බලවේගය බලය ලබාගැනීමට පෙර දියත් කල සමාජ මාධ්‍ය ව්‍යාපාරයට වඩා බලවත් සහ සදාචාරමය සීමාවන් නොසලකන සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ව්‍යාපාරයක් විපක්ෂයට පක්ෂව දියත්වී තිබේ. නමුත් ඒවා සියල්ල විසින් ගොඩනගන දෘෂ්ටිමය දේශපාලනයක් නැත. කොටින්ම, විපක්ෂයට රාජ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැතිබව ඒ හරහා පෙනීයයි.
නමුත් ආණ්ඩුවේ ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍යට විපක්ෂයේ ප්‍රචාරණයට මුහුණ දීමට නොහැකි බව පෙනී යයි. එසේ නමුත් තවමත් ආණ්ඩුව පිළිබඳව ජනතා මතය විපක්ෂය සිතන මටිටමට වෙනස් වී නැති බව සමීක්ෂකයන් කිහිප දෙනෙකු ම පෙන්වා දී තිබේ. එම තත්වය කෙසේ වෙතත් විපක්ෂය තම කැම්පේන් එක තීව්ර කරනු මිස සබුද්ධික rational දේශපාලන ව්‍යාපාරයක් සදහා යොමුවන බවක් නොපෙනෙයි. අතාර්කික , අඛණ්ඩ, ව්‍යාජ මතවාදී ව්‍යාපාරයක් දියත් කිරීම හරහා ආණ්ඩුවට එරෙහිව ජනතාව මෙහෙයවීම විපක්ෂයට අවශ්‍යවී ඇත. නමුත් තවමත් ජනතාව ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාස සහගතවීම ආණ්ඩුවට පවතින වාසි සහගත තත්වය වෙයි.
ඊයේ (01.03.2026) දින ඇතිවූ තෙල් පෝලීම ජනතාව තුළ පවතින බිය පිළිබඳව අපට නැවත මතක් කර දෙයි. රට තුල තෙල් අර්බූදයක් නොමැති මුත්, ඉරානයට පහර දීමත් සමග මෙරට ජනතාව තැති ගැන්වීමකට ලක්ව ඇත. ලංකාව සෘජුව ඉරානයෙන් තෙල් මිලට නොගනී. මෙරට සැපයුම් ජාලය අබණ්ඩය. නමුත් ජනතාව ක්ෂණිකව පත්විය හැකි තත්වය ගැන ඊයේ ඉන්ධන හල් වටා ඇතිවූ පෝලිම් මනා නිදසුනකි. ඉන්ධන වැඩි ප්‍රමාණයක් රැස්කර ගැනීමට මෙලෙස ජනතාව පෙළඹීම නිසාම සමහරවිට හිගයක් ඇතිවිය හැක. ඕනෑම හිගයකට හේතුව පරිභෝජනය කරන වේගයට සාපේක්ෂව එම ද්‍රව්‍ය සම්පාදනය ට පවතින නොහැකියාව මිස එම ද්‍රව්‍ය සපයාගැනීමට ඇති නොහැකියාව නොවෙයි.
විපක්ෂය කිසිදු ආකාරයකින් පරිවර්තනයකට ලක්වී ඇති බවක් නොපෙනෙයි. කෙසේ හෝ බලය ලබාගැනීමට සහ වත්මන් ආණ්ඩුව කඩිනම්න් එලවා දැමීමට එයට අවශ්‍යව තිබේ. දේශපාලන සදාචාරය, වංචා දූෂණ, ප්රචණ්ඩත්වය, ජාතිවාදය, දරිද්‍රතාවය හෝ පරිසර දූෂණය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව යනු විපක්ෂයේ න්‍යාය පත්‍රයේ පවතින ගැටලු නොවෙයි. අඩුම තරමින් ජනතා සුබසාධනය සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය කුමක් ද යන්න අපි නො දනිමු.
නමුත් ප්රජාතන්ත්රවාදය, ආර්ථික කළමනාකරණය, සමාජ සහජීවනය සහ පරිසර කේන්ද්‍රීය සංවර්ධනය සහ පාරිසරික තුල්‍යතාව පිළිබඳ න්‍යාය පත්‍රයක් නොමැතිව පරණ විපක්ෂයම නැවත ඔවුන්ට බලය ලබාගැනීමට ක්‍රියාත්මක වී තිබේ.
වත්මන් ආණ්ඩුව නීතියේ පාලනය සහ යහ පාලන මූලධර්ම භාවිතා කරයි. එය සමාජ ශෝධනය කරන, රාජ්‍ය පද්ධතිය නිවැරදි කරන, ප්රජාතන්ත්රවාදී මාදිලියක් අත්හදා බලමින් සිටියි. ආර්ථික අර්බූදය කළමනාකරණය කරමින් තිබේ. නමුත් එය ඉදිරියේ පවතින අභියෝග රාශියකි. සමහරවිට ආණ්ඩුව සතුව පවතින ධාරිතාවන් capacities පිළිබඳ ගැටළු පවතී.

විවේචනයට වඩා ගොඩනැගීම අපහසුය. ආණ්ඩුව එය අත්දකිමින් සිටී. ඒ සදහා පවතින කැපවීම වැඩිකර ගැනීමට තවදුරටත් ක්‍රියාත්මක විය යුතුය. බලය ලබා ගැනීම ආණ්ඩුවේ නිශ්ටාව end result නොවෙයි. බලය පිළිබඳ තෘප්තිමත් වීමට හෝ එය සැමරීමට වත්මන් ආණ්ඩුවට විරාමයක් ගත නොහැක. එය සතු අභියෝගය විශාල වන්නේ සමහරවිට සමාජය සූදානම් නැති, රාජ්‍ය පද්ධතිය සූදානම් නැති වෙනසක් පිළිබඳ විශාල න්‍යාය පත්‍රය එහි බර ආණ්ඩුව මත පටවා ඇති නිසාය. ආණ්ඩුවේ නිශ්ටාව වන්නේ පද්ධතිය වෙනස් කිරීමයි. නමුත් ප්රයෝජ්යතාවාදී දේශපාලනය විසින් එම නිෂ්ටාවට ළගාවීම ප්‍රමාද කළ හැක.
නමුත් දේශපාලනය පිළිබඳ සරල භාවිතා වක් ඇති මෙරට විපක්ෂය ඔවුන් පන්තිමය වශයෙන් මුහූණදෙන තර්ජනය හමුවේ ආණ්ඩුව පලවා හැරීමේ කඩිනම් උපායක් දියත් කරයි. එය ආණ්ඩුව කිච කිරීම, ආණ්ඩුවට බැරිබව දිගට කියාපෑම සහ ආණ්ඩුව අසමත් බව කියාපාන ව්‍යාපාරයක් මිස දියුණු දේශපාලනයක් නොවෙයි. එය පරණ විපක්ෂයම, පරණ අදහස්ම මිස දියුණු ප්රජාතන්ත්රවාදී දර්ශනයක් පිළිබඳ පොරොන්දුවක් නොවන බව පැහැදිලිය.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)
[theleader.lk]