අනුර කුමාර නැවත ජනපතිවරණයට ඉදිරිපත් වුනොත්...?

අනුර කුමාර නැවත ජනපතිවරණයට ඉදිරිපත් වුනොත්...?

"අනුර නැවත වතාවක් ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලුවොත් ඔබ ඡන්දය දෙනවාද...?" කියල මත විචාරණයක් යනව මිලියනකට වඩා ෆොලෝවර්ස්ල ඉන්න ෆේස්බුක් පිටුවක පිටුවක.

uvi1

 

ව්‍යවස්ථාමය වෙනස්කම් නොකළොත්...

අති විශාල ජාතික ව්‍යසනයකට මුහුණ දෙන්න සිදුවී එයාට ම ජනාධිපතිකමට ඉල්ලන්න වුනොත් හැර මම නම් අකුරකින්වත් අනුරව නැවත ජනාධිපති කරන්න උදව් කරන්නෙ නැහැ.

නමුත් එයා පොරොන්දු වූ පරිදි ජනාධිපති ක්‍රමය අහෝසි කරල අගමැතිකමට ඉල්ලුවොත් බොක්කෙන් ම වැඩකරනව අනුරට. ආයෙ කවදාවත් ජාතික ජන බලවේගයට 159ක් ලැබෙන්නෙ නැහැ.

 

මේ බලය තියෙන වෙලාවෙ පොරොන්දු වූ ව්‍යවස්ථාමය වෙනස්කම් නොකරන්නේ නම් ආයෙ කවදාකවත් ඒව කරන්න අවස්ථාව ලැබෙන්නේ නැත.

akd2

 

ජවිපෙ චන්ද්‍රිකා ගිවිසුම

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ජීවතුන් අතර සිටි කාලයේ සිට ම ජවිපෙ ප්‍රතිපත්තිය වූයේ සහ උද්ඝෝෂණය කළේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ය. 1994 දී ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ ලෙස ජනාධිපතිවරණයට ජවිපෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා වූ නිහාල් ගලප්පත්තිව තරගයෙන් ඉවත් කරගත්තේ චන්ද්‍රිකා සමග එකඟ වූ ගිවිසුමකිනි. එනම් 1995 ජූලි 31ට පෙර ජනාධිපති ක්‍රමය ඉවත්කරන බවට ඇය දුන් පොරොන්දුව යි. එදා සිට අද දක්වා විවිධ නම් යටතේ සන්ධානගත වූ ජවිපෙ ප්‍රකාශිත ස්ථාවරය වන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අගමැති ක්‍රමයක් ස්ථාපිත කිරීම ය. සෑම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට ම ජවිපෙ ලෙස ලිඛිතව ඉදිරිපත් කරන ලද ස්ථාවරය වන්නේ ද එය යි.

Protest

 

චන්ද්‍රිකාට වැරදුණු තැන

චන්ද්‍රිකාට තුනෙන් දෙකක බලයක් නොලැබුණත්, ඇය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විශාල උත්සාහයක් දැරුවා ය. 

 

2000 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සහ රනිල් විසින් පරාජය කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත එයට සාක්‍ෂි ය. නමුත් ඇය ගෙන් වූ ප්‍රධාන වරද නම්, ඇය එම පොරොන්දුව ඉටු කරන්නට ඇයගේ දෙවන වාරය එන තෙක් බලා සිටීම ය. එයට හේතු වූයේ ඇගේ බල කැදරකම මෙන්ම එම ව්‍යවස්ථා කෙටුම්පතට ඇගේ දෙවන කාලය අවසන් වෙනතෙක් ඇයට ජනාධිපති ධූරය දැරීමට දැමූ අන්තර්කාලීන විධිවිධාන වේ.

 

එය නොවන්නට රනිල්ට කට උත්තර නැතුව ව්‍යවස්ථා කෙටුම්පතට ඡන්දය දීමට සිදුවේ. රනිල් විරුද්ධ වීමට යොදාගත්තේ ඒ අන්තර්කාලීන විධිවිධාන වේ.

 

අනුර කළ යුතු ම දේ

anura

නමුත් අනුරට එවැනි බාධාවක් නැත. ඔහුට තුනෙන් දෙකකටත් වඩා බලයක් ඇත. ඒත් එම බලයෙන් වුවත් අන්ධ නොවී ඔහු කළ යුත්තේ අනෙකුත් පක්‍ෂත් සමග එකඟ වන දීර්ඝ කාලයකට ඔරොත්තු දෙන ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ය.

 

එසේ කළ පසුව ඔහු නැවත වරක් ජාතික ජන බලවේගයේ නායකයා ලෙස අගමැතිධුරයට තරග කළ හොත් මගේ ඡන්දය ඔහුට හිමි වේ. මොකද ඒ වෙන කොට මම ලංකාවේ ජීවත් වීමට අදහස් කරගෙන සිටින නිසා ය, එතකොට මට ඡන්ද බලයත් ආයෙ ලැබිල තියෙයි.

 

uvindu

උවිඳු කුරුකුලසූරිය

 

newstube.lk 

Search