* සමන් ඒකනායක දුෂ්ඨ චේතනාවකින් යුතුව පරිපාලනමය වරදක් සිදු කොට තිබේද?
සමන්ගේ නඩුව weaponization of rule of law සදහා වන කදිම උදාහරනයක්ද?
මාධ්‍යවේදී සනත් බාලසුරිය මහතා තම මුහුනු පොතේ “සමන් ඒකනායක හොඳ මහත්මයෙක්... ඒත් මෙන්න මේ උපදෙස් ටිකත් පිළිපැද්දා නම්...'' යන මැයෙන් දීර්ඝ කරුනු දැක්වීමක් කරමින් සමන් ඒකනායක හිටපු ලේකම් වරයා රනිල් වික්‍රමසිංහ නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස දඩුකදේ ගැසීම සදහා කරුනු ගනනාවක් ඉදිරිපත් කර තිබේ.
මෙම ලිපියේ අරමුන බාලසුරිය මහතාගේ තර්කයේ පවතින නොගැඹුර සමාජයට පෙන්වාදීමය.
බාලසුරිය මහතා ඊට අමතරව සමන් ඒකනායක මහතා හොද පරිපාලකයෙකු සහ හොද මහතෙකු (Gentleman Administrator) ලෙස හදුන්වමින් බුකියේ කරුනු ඉදිරිපත් කල බොහෝ දෙනකුද සෝපාහාසයට ලක් කරයි.
බාලසුරිය මහතා කියන්නේ ඉහත සදහන් පරිදි ලියන කියන දේවල් ගැන ඔහු කෙටියෙන්ම කියා ඇත්තේ, සමන් ඒකනායකගේ අතීත ගුණයහපත්කම්, අවංක, ඍජු හා දක්ෂ භාවිතයන් මේ නඩුකරයේ දී ඔහුගේ නිර්දොෂී භාවය ඔප්පු කරන්නට විත්ති වාචක ලෙස අදාල නොවන බවය.
එය සැබෑවකි. නමුත් ප්‍රශ්නය වන්නේ නිර්දෝශී මිනිසකු වරදකරු කිරීම දෝශී මිනිසුන් සියයක් වරදෙන් නිදොස් වීමට වඩා බරපත තත්වයක් බව යුක්තිය පසදලීමේදී බරපතල බව මෙම නඩුවේදී සලකා නොබැලීමයි.
බාලසුරිය මහතා උදාහරන ගනිමින් කියන්නේ සමන් ඒකනායක මහතා පරිපාලකයකු වශයෙන් වැරදි කොට ඇති බවය.
ඒ අනුව බාලසුරිය මහතා අර අදින්නේ සමන් ඒකනායක මහතා කෙරෙහි පුර්වදෝශීත්වයක් (prejudice) සමාජය තුග වපුරන්නටය.
සමන් ඒකනායකට දඩුවම් පැමිනවීම සාධාරන බව සමාජයට ඒත්තු ගන්වන්නටය.
නමුත් බාලසුරිය මහතා උපුටන උදාහරනයට අනුවම KHJ විජයදාසද ජීවත්ව සිටියා නම් සහ මාලිමා ආන්ඩුව ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ රාජ්‍ය මුදල් පිලිබදව විමර්ශනයක් ආරම්බ කලා නම් විජයදාස මහතාද, සමන් ඒකනායක මෙන්ම දඩුකදේ ගැසිය යුතු බවට බාලසුරිය මහතාට මාලිමා ආන්ඩුවේ සහායට තර්ක කරනනට සිදුවනු ඇති බව මෙහිලා කිව යුතුව තිබේ.
එසේම බාලසුරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුතුමන් උපටා දක්වමින් කියන්නේ බලාතිකරන රීතියට (ultra vires) අනුවද සමන් ඒකනායක මහතා නීතිය උල්ලංඝනය කොට ඇති බවයි.
බාලසුරිය මහතාගේ එම තර්කය නිවැරදි නම් එම වරද ඔප්පු කලයුත්තේ අභියාචනාධිකරනය ඉදිරියට ගෙන එන රිට් පෙත්සමක් මගින් මිස මහේස්ත්‍රාත් අධිකරනය ඉදිරියට ගෙන එන අපරාධ නඩුවක් මගින් නොවේ.
නොඑසේව දැනට ඉදිරිපත් කර ඇති අපරාධ නඩුව මගින් පෙන්වන්නේ ආන්ඩුව පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව නීතියේ ආධිපත්‍ය දේශපාලන අවියක් ලෙස භාවිතා කරමින් සිටින බවයි.( weaponization of rule of law)
එනම් නීතිය තෝරා බේරාගෙන තමන්ගේ ප්‍රතිවාදීන් දන්ඩනයට ලක් කිරීමේ අරමුනින් භාවිතා කරන බවයි. මැතකදි හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා මැතිනිය අවධාරනය කොට තිබුනේද මෙම කරුනයි.
දැන් අපි මාලිමා ආන්ඩුව පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව සමන් ඒකනායක දඩුකදේ ගැසීම සදහා නීතිය අවියක් කොට ගෙන ඇත්තේ කෙසේදැයි විමසමු.
මෙම නඩුවේ ඇති වැදගත්ම නීතිමය දෝශය වන්නේ පරිපාලන රීති (Administrative Rules) උල්ලංඝනයක් අපරාධ නීතිය (Criminal Law) යටතේ වරදක් ලෙස හුවා දක්වමින් නඩු පැවරීමයි.
සාමාන්‍යයෙන් ගත්කල ආයතන සංග්‍රහය (Establishments Code) යටතේ රාජ්‍ය නිලධාරියෙකු මුදල් වැය කිරීමේදී චක්‍රලේඛයක් හෝ ක්‍රමවේදයක් වැරදියට අර්ථකථනය කළහොත්, සාමාන්‍යයෙන් එය සලකන්නේ "පරිපාලනමය වරදක්" ලෙසටය.
ඒ සඳහා ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වා, අදාළ මුදල නැවත අයකර ගැනීම (Surcharge) වැනි විනයානුකූල පියවර ගැනීම සාමාන්‍ය ක්‍රමවේදයයි.
නමුත් සමන් ඒකනායකට ඔහු සිදු කරන ලදයි උපකල්පනය කරන පරිපාලනමය වරදට එරෙහිව නඩු පවරන්නේ පොදු දේපළ පනත (Public Property Act) යටතේය. මෙහිදී චෝදනාව එල්ල වන්නේ එම පරිපාලනමය තීරණය "සොරකමක්" හෝ "වංචාවක්" ලෙස සලකමිනි. මෙම තත්වය පැහැදිලි ලෙසම weaponization of rule of යන කැටගරියට වැටෙන නීතිමය අවභාවිතයකි. එසේම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වගන්තිය යටතේ අතීතයට බලපාන ලෙස අපරාධමය වගකීම් පුද්ගලයකුට ආරෝපනය නොකල යුතුය යන මුලික මානව හිමිකම් සිද්දාන්තයට පටහැනිව කටයුතු කිරීමකි.
සමන් ඒකනායක ලේකම් වරයා පරිපාලනමය වශයෙන් නිවැරදි යැයි සිතා ගත් තීරණයක් (උදා: ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ ප්‍රොටොකෝලය සඳහා වැය කළ මුදල්), පසුකාලීනව අපරාධ නීතිය යටතේ විග්‍රහ කිරීම රාජ්‍ය පරිපාලනය බරපතල අවදානමකට ලක් කිරීමකි.
මාලිමා ආන්ඩුව සිදු කල යුතුව තිබුනේ යම් පරිපාලනමය වරදක් සිදුව ඇත්නම් එයට එරෙහිව විනයානුකූල පියවරක් මිස සමන් ඒකනායක බන්ධනාගාරගත කළ යුතු අපරාධයක් සිදු කිරීමේ පදනමින් වරදක් ආරෝපනය කිරීම නොවේ.
පරිපාලනමය වරදක් සිදුකර තිබේද ?
එවැනි පසුබිමක සමන් ඒකනායක ජනාධිපති ලේකම් වරයා අදාල සිද්දියේදී පරිපාලනමය වරදක් සිදුකර තිබේද යන්නද සොයා බැලීම කාලෝචිත වන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 වැනි වගන්තිය අනුව ජනාධිපති ලේකම්වරයකුගේ කාර්යය වන්නේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති රාජකාරි ඉටු කිරීමට සහාය වීමයි.
ඒ අනුව ඒකනායක මහතා ක්‍රියා කල යුත්තේ තම ව්‍යවස්ථාපිත රාජකාරිය ඉටු කිරීමටය.
ආණ්ඩු වෙනස් වීමෙන් පසු "නිල සංචාර" යන්නෙහි අර්ථය වෙනස් කරමින් වෘත්තීය රාජ්‍ය නිලධාරීන් දඩයම් කිරීම යන්නේ නම් එය නීති විද්‍යාවේ දැක්වෙන "නීතිමය ස්ථාවරභාවය" (Legal Certainty) පිළිබඳ මූලධර්මයට සපුරා පටහැනි වන්නේය.
ඒ අනුව සොයා බැලිය යුත්තේ ඒකනායක මහතාට පොදු දේපළ පනත යටතේ වරදක් ආරෝපනය කිරීම සදහා තමන් ඉටු කල ව්‍යවස්තාපිත රාජකාරිය තුල “වංචනික චේතනාව" හෝ පෞද්ගලික වාසියක් ලබා ගැනීමේ අරමුනක් තිබුනාද යන්නය.
අදාල චෝදනාව තුල රුපියල් මිලියන 16.6 ක මුදල සමන් ඒකනායක මහතා තම පෞද්ගලික පරිහරණයට ගත් බවට පැවසෙන කිසිදු චෝදනාවක් අන්තර් ගත වන්නේ නැත.
එය එසේ නම් තමන්ට ව්‍යවස්තාමය රාජකාරි බැදීමක් සහිත රාජ්‍ය නායකයාගේ ගමනක් වෙනුවෙන් වැය කළ මුදලකි.
පරිපාලනමය ගැටලුවක් මිස අපරාධමය වරදක් ලෙස සැලකිය නොහැක..
එසේ නම් එය පරිපාලනමය ගැටලුවක් මිස අපරාධමය වරදක් ලෙස සැලකිය නොහැක.
එය එසේ නම් නිත්‍යානුකූලභාවය පිළිබඳ පූර්ව නිගමනයේ (Presumption of Regularity) ආවරනය සමන් ඒකනායක මහතාට පවතින්නේය.
එනම් පරිපාලන නීතියට අනුව, රජයේ නිලධාරියෙකු විසින් කරනු ලබන සියලුම නිල කටයුතු නිවැරදිව සහ නීත්‍යානුකූලව සිදු කර ඇති බවට පූර්ව නිගමනයක් පවතී.
ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා ලෙස ඒකනායක මහතා කටයුතු කොට ඇත්තේ විධායකයේ අනුමැතිය සහ ඉල්ලීම් මත නම් රාජ්‍ය නායකයා සංචාරයක් "නිල" ලෙස වර්ගීකරණය කළ විට, එය ප්‍රශ්න කිරීමට හෝ පරීක්ෂා කිරීමට සිවිල් නිලධාරියෙකුට ඇති හැකියාව සීමිතය.
මක් නිසාද යත් පරිපාලන නීතියේදී ලේකම්වරයෙකු ක්‍රියා කරන්නේ විධායකයේ නියෝජිතයෙකු හෝ මෙවලමක් ලෙසටය.
ඒ බව ආන්ඩු ක්‍රම ව්‍යවස්තාවේම දක්වා තිබේ. සමස්ත රාජ්‍ය පරිපාලනය පවතින්නේ කැබිනට්ටුවට යටත්වය.
ජනාධිපතිවරයා කැබිනට්ටුවේ ප්‍රධානියාය.
ඒ අනුව ජනාධිපතිවරයෙකුගේ විදේශ සංචාරයක් නිෂේධ (Veto) කිරීමට ලේකම්වරයෙකුට ස්වාධීන බලයක් ඇත්තේ නැත.
ඔහුගේ කාර්යය වන්නේ පටිපාටිගතව අරමුදල් නිදහස් කිරීමයි.
ඒ අනුව රාජ්‍ය නායකයාගේ තීරණයකට අනුව අත්සන් තැබූ නිලධාරියාට පමණක් දඬුවම් කිරීම, සමස්ත රාජ්‍ය සේවයම අඩපණ කරන භයානක පූර්වාදර්ශයකි. දැන් මෙම සමස්ත පරිපාලන නීතිමය සන්දර්භය මාලිමා ආන්ඩුව එල්ල කරන සමස්ත චෝදනාවට අදාලව සලකා බැලුවිට එම චෝදනාව කිසිදු පදනමක් නොමැති ප්‍රලාපයක් බව තේරුම් ගැනීම අපහසු වන්නේ නැත.
මෙම සංචාරයට උපාධි ප්‍රදානෝත්සවයක් ඇතුළත් වූ බැවින් එය "පෞද්ගලික" එකක් බව පැමිණිල්ලේ තර්කයයි.
ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියෙකුගේ සංචාරයක් පෞද්ගලික හෝ නිල ලෙස වෙන් කිරීම සැමවිටම සරල නැත.
උපාධි ප්‍රදානෝත්සවයක් තිබුණද, එම සංචාරය අතරතුර රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් හෝ විදේශ සබඳතා පිළිබඳ සොයා බැලීම් සිදුවන්නේ නම්, ඒවා ජනාධිපති ලේකම් කාර්යාලයට පැවරුණු රාජකාරි වේ.
ජනාධිපතිවරයාගේ සමස්ත ගමන් විස්තරය (Itinerary) ට අනුව ලන්ඩනයේ නැවතීම අමරිකානු නිල සංචාරයේම කොටසකි. ඒ සදහා පහසුකම් සැලසීම ලේකම්වරයාගේ වගකීමයි.
එම අවස්ථාවේදී ලන්ඩන් ගමන “ නිල" සංචාරයක් ලෙස පිළිගෙන තිබුණද නොතිබුනද ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට ලේකම්වරයා නීතියෙන් බැඳී සිටී.
ඒ අනුව අපට කිව හැක්කේ පසුව සිදුවන දේශපාලන වෙනස්වීම් මත, අතීතයේ ගත් තීරණයක් සම්බන්ධයෙන් සමන් ඒකනායක දුෂ්ට චේතනාවෙන් කටයුතු කළ බව ඔප්පු නොවන තාක් දැනට චොදනා කරන වරදට ඔහ් වගකිව යුතු නැති බවය.
ඒ අනුව අපට කිව හැක්කේ සමන් ඒකනායක දේශපාලනික පලිගැනීමක් උදෙසා බන්ධනාගාරගත කොට අසාධාරන චෝදනාවක් යටතේ නඩු පැවරීමකට යටත්ව තිබෙන බවය.
නීතියේ ආධිපත්‍ය පිලිබදව යමෙකු උනන්දු වන්නේ නම් මෙම අනීතික ක්‍රියා වලියට එරෙහිව නැගී සිටිය යුතු බවය.

(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
@ Shiral Lakthilaka ෆේස්බුක් පිටුවෙන්...
සබැඳි ලිපිය :
'සමන් ඒකනායක හොඳ මහත්මයෙක්!' ; ඒත් මෙන්න මේ උපදෙස් ටිකත් පිළිපැද්දා නම්... | Sanath Balasooriya
[theleader]