රාජ්‍ය බලය පිළිබඳව ආණ්ඩුවේ මැසිවිල්ල වරින් වර මතුවෙමින් පවතී.
මා ‘වරින් වර’ කියා ලිව්වේ ආණ්ඩුව බලයට පත්වූ මුලදී මේ හඬ ඇසෙන්නට පටන්ගෙන නිහඬ වූ බැවින් හා දැන් තමන්ට වැඩ කිරීමට ආණ්ඩු බලය තිබුණාට ප්‍රමාණවත් නැති බවත්, රාජ්‍ය බලයත් අවශ්‍ය බවත් එක් එක් ඇමැතිවරුන් යම් යම් අවස්ථාවල කීම සිරිතක්ව ඇති නිසා ය.
එයිනුත් පසුගිය දවස්වල වඩාම ප්‍රසිද්ධියට පත්වුණේ කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග ඇමැති ලාල් කාන්තගේ හඬයි. ආණ්ඩුවේ ‘බ්රේක් නැති කට’ ලෙස සැලකෙන ලාල් කාන්ත ඇමැතිවරයා ප්‍රසිද්ධියේ කියා සිටියේ, “දැන් අපි කටයුතු කරමින් ඉන්නේ රාජ්‍ය බලය අල්ලා ගැනීමට ය” කියාය. ඔහුගේ මෙම කතාව වචන කිහිපයක් වුවත් ඉන් ඉඟි කෙරෙන අරුත අතිශයින් බරපතළ ය.
රාජ්‍ය බලය අල්ලා ගැනීම ගැන මේ අදහස ආණ්ඩුවේ අයට එන්නේ ඔවුන්ගේ දේශපාලන සම්භවයෙනි. කාටත් වැටහෙන ලෙසින් කීවොත් ජන්ම ගතියෙනි. ඔවුන් මුල සිටම විශ්වාස කළේ සමාජවාදී ක්‍රමයක් යටතේ රාජ්‍ය පාලනය කිරීමක් ගැන ය. ඒ ක්‍රමයට කරන්නට ගිය රටවල් දිගට හරහට කඩා වැටී කාබාසිනියා වී ගියත්, ඔවුන් හිතන්නේ ඒ ක්රමයේ වරදක් නිසා සිදුවූ බිඳවැටීමක් නොව, එය ක්‍රියාත්මක කළ අන්දම වැරදි නිසා සිදුවූ බිඳවැටීමක් කියා ය. මේ ඊනියා සමාජවාදී පාලනයේදී සමස්ත රාජ්‍ය පාලන ව්‍යුහයම ඔවුන්ගේ පක්ෂය විසින් මෙහෙයවිය යුතු බවට ඔවුහු විශ්වාස කරති. ඊට උදාහරණ ලෙස චීනය දෙසට ඇඟිල්ල දිගු කිරීමට ද ඔවුන් කැමති ය. ආණ්ඩු බලය පමණක් ලබාගෙන සමාජවාදී ක්‍රමයට යා නොහැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. ආණ්ඩු බලයට සමාජවාදීන් පත්වූ පසු මුළු රාජ්‍යයේම බලය යොදාගෙන ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන බවට ඔවුහු න්‍යායාත්මකව විශ්වාස කරති.
මේ අදහස ලාල් කාන්ත ඇතුළු ආණ්ඩුවේ කණ්ඩායමක් දරන බව රාජ්‍ය බලය ඇල්ලීම පිළිබඳ මේ කයිවාරුවලින් පැහැදිලි ය. මේ පිළිබඳව විශ්ලේෂණයක් සිදු කිරීමට නම් සියල්ලට පළමුව ආණ්ඩුව හා රාජ්‍ය යන ව්‍යුහයන් දෙක ගැන මුලින්ම හොඳ අවබෝධයක් ලබාගත යුතු ය.
ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. එම ජනාධිපතිවරයා රජයේ ද, විධායකයේ ද, ආණ්ඩුවේ ද ප්‍රධානියා වන්නේ ය. මෙයින් පැහැදිලිවම කියවෙන්නේ මහජනතාව විසින් ජනරජයේ ප්‍රධානත්වය වසර පහක කාලයකට පවරා පත් කරන ජනාධිපතිවරයාට නිල බලයෙන් ලැබෙන වෙනත් තනතුරු තුනක් ගැන ය. ඒ එකක් රජයේ ප්රධානත්වයයි. රජය යනුවෙන් හැඳින්වෙන්නේ මේ රාජ්‍යයේ පාලන තන්ත්රයයි. මේ පාලන තන්ත්රය ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය. ඒ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ලෙස ය. මෙයින් විධායකයේ ප්‍රධානත්වය ද ජනාධිපතිවරයාට ලැබේ. රජයේ ප්‍රධාන අංග සියල්ල මේ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන කොටස් තුන තුළ පිහිටුවා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රජයේ අනිවාර්යයෙන් තිබිය යුතු ප්‍රධාන කොටස් සේ සැලකිය හැක්කේ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව, යුක්තිය පසිඳලීමේ පද්ධතිය (අධිකරණය), අමාත්‍ය මණ්ඩලය, පළාත් සභා, පළාත් ආණ්ඩුකාරවරු, පළාත් අමාත්‍ය මණ්ඩල, ඒකාබද්ධ අරමුදල, විගණකාධිපතිවරයා, ෆිස්කල්වරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව හා අධිකරණ සේවාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා රාජ්‍ය සේවාව, මැතිවරණ කොමිෂන් සභාව හා මැතිවරණ කාර්ය මණ්ඩලය, විගණන කොමිෂන් සභාව හා විගණන සේවාව, මුදල් කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව හා පොලිස් සේවාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ආදී සියලු ආයතන හා තනතුරු ය. එම තනතුරු හා ආයතනවලට පත්වන අය සිය කටයුතු ආරම්භ කිරීමට පෙර අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇත. ඒ නියමිත දිවුරුම/ප්‍රතිඥාව ලබා දීමයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැර අන් සියලුම ආයතනවලට පත්වන අය කවුරුත් දිය යුත්තේ එකම ප්රතිඥාවකි/දිවුරුමකි. ඒ ප්‍රතිඥාවෙන්/දිවුරුමෙන් කියවෙන්නේ තමන් තම ධුරයට අයත් කාර්ය හා කර්තව්‍ය නීතියේ හැටියටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියටත් ඉටු කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවත් ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දිවුරුමේ සඳහන් වන්නේ තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවට ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විධායකයට අයත් නොවන, ව්‍යවස්ථා සම්පාදන කටයුතු කරන අය බැවින් ඔවුන්ගේ කාර්ය කර්තව්‍ය ව්‍යවස්ථාදායකයේ කාර්ය පටිපාටි හෙවත් ස්ථාවර නියෝග අනුව පමණක් සිදු කෙරෙන බැවින්, ඔවුන් ප්‍රතිඥා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවට පමණි.
මේ අනුව රජය ලෙස සැලකෙන සෑම ව්‍යුහයක්ම, තනතුරක්ම ක්‍රියා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව කටපුරාම කිව හැක. ඒ සෑම ව්‍යුහයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ද බැඳී සිටියි. ඊට අතිරේකව රජයේ ප්‍රධානම කොටස් දෙකක් වන විධායකයට හා අධිකරණයට අයත් වන සියලුම දෙනා නීතියේ හැටියට ක්‍රියා කිරීම අනිවාර්ය කරනු ලැබ ඇත. ඒ අනුව සමස්ත රාජ්‍ය ව්‍යුහයම කිසියම් නීතිමය රාමුවක ක්‍රියාකාරීත්වය යටතේ පවත්වාගෙන යාම අනිවාර්ය බවත්, එකී රාමුවෙන් පරිබාහිර වන්නට ගියොත් රාජ්‍ය ව්‍යුහය බිඳ වැටෙන බවත් තේරුම්ගත හැකි ය.

අප විසින් ඉහත විස්තර කරන ලද රජයේ පවතින අනිවාර්ය අංගවලින් ව්‍යවස්ථාදායකය හා අධිකරණය යටතට ගැනෙන ව්‍යුහයන් හා තනතුරු හැර ඉතිරි ව්‍යුහයන් අයත් වන්නේ විධායකයට ය. එසේ විධායකයට අයත් වන රජයේ ස්ථාවර ව්‍යුහයන්ට උදාහරණ ලෙස අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ, ඒකාබද්ධ අරමුදල, රාජ්‍ය සේවාව, මැතිවරණ කාර්ය මණ්ඩල, විගණකාධිපති හා විගණන කාර්ය මණ්ඩල, සන්නද්ධ හමුදා, පොලිස් සේවාව, පළාත් ආණ්ඩුකාරවරු, පළාත් අමාත්‍ය මණ්ඩල, සියලුම ස්වාධීන කොමිෂන් සභා ආදිය අයත් වන්නේ විධායකයට ය. මේ සියල්ල අඩංගු විධායකයේ නායකත්වය නිල බලයෙන් ජනාධිපතිවරයාට දී ඇතත්, සමස්ත විධායකයේම ක්‍රියාකාරීත්වයට මැදිහත් වීමට ජනාධිපතිවරයාටවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී නැත. විධායකයේ අංග වන ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි ජනාධිපතිවරයාට හැකි වන්නේ ඒවා පත් කිරීමේ කාර්යය පමණි. එහිදී ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශය ලබා ගැනීම අනිවාර්ය කර ඇත.
ආණ්ඩුව යන ව්‍යුහය පවතින්නේ මේ විධායකය හා සම්බන්ධව ය. මින් අගමැති ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය, නියෝජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ හා අමාත්‍යාංශ ලේකම්වරු අයත් කොටස හඳුන්වන්නේ ‘ආණ්ඩුව’ කියා ය. ආණ්ඩුවක් පත් වන්නේ පාර්ලිමේන්තුව තෝරා පත් කළ පසු, එහි මන්ත්‍රීවරුන් අතරින් වැඩිම මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය යම් මන්ත්‍රීවරයෙකුට ඇතැයි ජනාධිපතිතුමා සිතන්නේ නම් ඒ මන්ත්‍රීවරයා අගමැති ලෙස පත් කිරීමත් සමඟ ය. අනතුරුව ජනාධිපතිවරයා විසින් විධායකයට අයත්, ආණ්ඩුවේ පාලනය යටතට වැටෙන ආයතන අනුයුක්ත කරමින් අමාත්‍යාංශ නිර්මාණය කරනු ලබයි. ඒ එක් එක් අමාත්‍යාංශය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් තෝරාගන්නා අය අමාත්‍යවරුන් ලෙස පත් කරනු ලැබේ. මේ අමාත්‍යවරුන්ට සහායට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමටත් ජනාධිපතිවරයාට හැකි ය. අනතුරුව එක් එක් අමාත්‍යාංශයට ලේකම්වරයෙකු බැගින් පත් කිරීම ද සිදුවේ. මේ ලේකම්වරුන්ට තම අමාත්‍යවරයාගේ විධානය හා පාලනයට යටත්ව, අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති රාජ්‍ය ආයතනවල පාලනය පිළිබඳ අධීක්ෂණය හා මෙහෙයවීම සිදු කළ හැකි ය.

ආණ්ඩුව නමින් හඳුන්වන මේ ව්‍යුහයට පැවරුණු කාර්යයන් වන්නේ විධායකයේ තමන් යටතට පත් කරනු ලැබ ඇති කොටස්වල පාලනය මෙහෙයවීමයි. ආණ්ඩුවේ අමාත්‍යාංශ යටතට පත් කර ඇති රජයේ දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් පත් කිරීම, මාරු කිරීම, උසස් කිරීම, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම ද ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට පවරා දී ඇත. මෙසේ කර ඇත්තේ ආණ්ඩුවට මෙහෙයවිය හැකි රජයේ දෙපාර්තමේන්තුවල ප්රධානත්වයට දක්ෂ, අත්දැකීම් සහිත, නිර්මාණශීලී, කාර්යක්ෂම ප්‍රධානීන් පත් කරගෙන එම ආයතනවලින් බලාපොරොත්තු වන මහජන සේවාවන් කාර්යක්ෂම කරවීමට ආණ්ඩුවට ඉඩ ලබා දීමට ය.
දැන් මේ ‘ජාතික ජන බලවේග ආණ්ඩුව’ නමින් හඳුන්වන්නේ මෙන්න මේ අන්දමට ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇති, අගමැතිවරිය, අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරුන් ද නියෝජ්‍ය අමාත්‍යවරුන් ද අමාත්‍යාංශ ලේකම්වරුන් ද ඇතුළත් අමාත්‍යාංශ සහිත කොටසයි. ආණ්ඩුවට කළ හැක්කේ තම පාලනයට භාර කර ඇති රාජ්‍ය ආයතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා නීතියේ විධිවිධානවලට අනුව මෙහෙයවීම පමණි. මේ ආණ්ඩුවට තබා කිසිම ආණ්ඩුවකට සමස්ත රජයේම පාලනය ලබා දීමක් සිදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී නැති නිසා, රජයට අයත් ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන සමස්ත කොටස් දෙකම ආණ්ඩුවේ පාලනයට යටත් කර නැත.


මේ ඉහත කළ විස්තරය අනුව, ආණ්ඩු බලය යනු විධායකයේ යම් කොටසක් මෙහෙයවීමටත්, රාජ්‍ය මූල්‍ය යටතේ ආදායම් හා වියදම් යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ව්‍යවස්ථා සම්පාදනයට හෝ සංශෝධනයට අදාළ යෝජනා ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කිරීමටත් බලය ඇති විධායකයේ කොටසක් පමණක් බව මේ අනුව තේරුම්ගත හැකි ය. රජය යනු පුළුල් ක්ෂේත්රවල පැතිරුණු බලතල, වගකීම් සහිත සමස්ත පාලන තන්ත්රයම අයත් සංකීර්ණ ව්‍යුහයකි. පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව රටේ ස්ථාපිත කරන්නේ ආණ්ඩුවකි. ආණ්ඩුව ජනාධිපතිවරයාට විසුරුවා හැරිය හැකි, අගමැතිවරයා ධුරය දරන තෙක් පමණක් පවතින තාවකාලික ව්‍යුහයකි. එය උපරිම වශයෙන් පවතින්නේ වසර පහක් පමණි.
ලාල් කාන්ත ඇමැතිවරයා ප්‍රධාන වශයෙන් ද, ආණ්ඩුවේ සෙසු ඇතැම් ඇමැතිවරු හා ආධාරකරුවන් අතරින් පතර ද පාරම් බාමින් සිටින්නේ ඔවුන්ට ආණ්ඩු බලය ප්‍රමාණවත් නැති බවත්, රජයේ බලයත් ලබාගත යුතු බවත් අවධාරණය කරමිනි. ඔවුන් සිය කතාවේදී ‘රජයේ බලය’ යනුවෙන් අදහස් කරන්නේ සමස්ත රජයේ බලය ද නැතිනම් විධායකයට අයත් රජයේ බලය පමණක් ද යන්න පැහැදිලි නැත. සම්පූර්ණ විධායකයම ආණ්ඩුවේ පාලනය යටතට පත් කර නැති බව අපි ඉහත අවබෝධ කර ගත්තෙමු.
සමස්ත රජයේ බලයම ආණ්ඩුවේ පාලනයට ගැනීමක් ඉන් අදහස් කරන්නේ නම්, රාජ්‍යයේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය පාලනය කිරීමේ බලය ආණ්ඩුව යටතට පත් කිරීමක් ඉන් අදහස් වේ. එවිට අධිකරණය ආණ්ඩුවේ පාලනයට යටත් ආයතනයක් වනු ඇත. ව්‍යවස්ථාදායකයත් ආණ්ඩුවේ පාලනයට යටත් ආයතනයක් වනු ඇත. එය අපේ ව්‍යවස්ථාවේ පදනම විනාශ කිරීමක් වනු ඇත. මේ කවර අදහසක් වුණත් එය පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම උල්ලංඝනය කරන නීතිවිරෝධී අදහසකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියට අනුව සිය රාජකාරි කරන බවට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවට දිවුරුම්/ප්‍රතිඥා දී ඇති අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු මේ කතාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නම්, එය ශ්‍රී ලංකා රජය විනාශ කරන බවට ප්‍රසිද්ධියේ කරන තර්ජනයක් සේ සැලකෙනවා පමණක් නොව, තමන් ලබා දුන් ප්‍රතිඥාව/දිවුරුම බිඳ දැමීමේ වරදට ඔවුන් හසුවනු ඇත. එයින්ම ඔවුන්ගේ ධුරය දැරීමේ අයිතිය අභියෝගයට ලක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ විධායකය මෙහෙයවමින් ජනතා අවශ්‍යතා මත පැනවිය යුතු ව්‍යවස්ථාවන් නැතිනම් නීතිරීති පිළිබඳව පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීම ය. රජයේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා නීතියෙන් නියම කර ඇති සීමාවන්ට අනුකූලව ය. ආණ්ඩුවට නීතියේ සීමාවන් ඉක්මවමින් රජයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් සිදු කළ නොහැක. ආණ්ඩුවට රජයේ යම් ආයතනයක හෝ අංශයක ක්‍රියාකාරීත්වය දුර්වල බව නිරීක්ෂණය වන්නේ නම් කළ යුත්තේ අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ සිදු කර එම ආයතනය ශක්තිමත් කිරීම ය. රජයේ නිලධාරියෙකුගේ දුර්වලතාවක් හෝ වරදක් නිසා රාජ්‍ය ආයතනයක ක්‍රියාකාරීත්වය දුර්වල වී ඇති බව පෙනෙන්නේ නම් ආණ්ඩුව කළ යුත්තේ අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා හරහා අදාළ නිලධාරියා පිළිබඳව අවශ්‍ය පරිපාලනමය පියවරයන් ගැනීම මඟින් එය නිවැරදි කිරීමයි.
එසේ නොමැතිව කට ඇරෙන ඇරෙන හැම මොහොතකම වාචාල කතා කීමෙන් හෝ තමන් භාරයේ ඇති රාජ්‍ය ආයතනවලට තම පාක්ෂික ගැත්තන් පත් කර දේශපාලන මෙහෙයවීම් කිරීමෙන් රාජ්‍ය පාලනය යහපත් කළ නොහැකි බව තේරුම්ගත යුතු ය. ආණ්ඩුවේ ලොක්කන් තමන්ගේ ඔලුගෙඩිවලට මුල් අද්දවා ඇති ඊනියා දේශපාලන න්‍යායන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට ගොස් ඇණගත් පසු, “අපිට රාජ්‍ය බලය නෑ ඒ නිසයි මෙහෙම වුණේ, කියා දැන් අපි රාජ්‍ය බලය ගතයුතු යැයි” ප්‍රසිද්ධියේ වහසි බස් දෙඩීම හිරේ විලංගුවේ වැටෙන්නට තරම් බරපතළ වරදක් වන බව තේරුම් ගත යුතු ය.
(සටහන | සුනිල් කන්නන්ගර)කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(vinivida.lk)