මිද්දෙණියේ කුඩු වළ සහ ජිනීවා – චෙම්මනි සමූහ මිනී වළ!

මිද්දෙණියේ කුඩු වළ සහ ජිනීවා – චෙම්මනි සමූහ මිනී වළ!

 

මේ සතියේත් සමාජ – දේශපාලන හා ජනමාධ්‍යවල ද ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ පාතාලයන්, නාඳුනන තුවක්කුකරුවන් හා බැඳුණු සිදුවීම් සම්බන්ධ අප්‍රසන්න පුවත්ය. ඒ සියල්ල සමග අඩු වැඩි වසයෙන් ගැට ගැසී තිබෙන දූෂිත හා අශිෂ්ට දේශපාලන ක්‍රියාකාරකම්ය. ඇත්ත වසයෙන්ම මේ රට මෙබඳු අපරාධ පුරවරයක්, භීෂණය හා දූෂණය විසින් වේළාගත් දේශපාලන නිරයක් බවට පත්වූයේ ප්‍රධාන වසයෙන්ම රට පාලනය කළ අයගේම මුග්ධ ක්‍රියා නිසා බව පැහැදිලිය. එහෙත් ඒ සඳහා දායක වූ විවිධ සමාජ හා පුරවැසි දායකත්වයක් ද විය. දූෂණයට ලක් නොවූ ආයතනයක්, සංවිධානයක් මෙරටේ තිබේදැයි අපි නොදනිමු. රට මේ තරමින්වත් ඉතිරි වී තිබෙන්නේ අපේ අධිකරණ ක්ෂේත්‍රයේ ඍජු පටිපන්න ක්‍රියාදාමය නිසාමය. එහෙත් සකලවිධ දූෂිතයන් අධිකරණයක් ඉදිරියට රැගෙන යෑම කෙබඳු දුෂ්කර ක්‍රියාවක්දැයි අමුතුවෙන් කිව යුතු නැත. පොලිස්පතිවරයා, ඇමැතිවරයා, මන්ත්‍රීවරයා ඇතුළු බොහෝ දෙනෙක් නීතිය සමග හැංඟිමුත්තන් කෙළියේ නිරතවන ආකාරය ද රට ම දනී. නීතියට ගරු නොකරන අශිෂ්ට පූර්වාදර්ශ දෙන අයට ඒ අධම ක්‍රියාවලට ද දඬුවමක් ලබාදෙන නීතියක් අලුතින් හෝ සම්පාදනය කළ යුතුය. නීතියට උඩින් කිසිවෙක් නැතැයි ප්‍රකාශ වුවද ඒ නීති යුක්තිය ඉටු කරන පොලිසියේ සිටම බොහෝ ලිහිල් තැන් දුබල තැන් තිබෙන බවද පෙනේ.

පසුගියදා මෙරටට රැගෙන එන ලද පාතාලයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළි වී තිබෙන අයිස් ගබඩා සිද්ධිය ඔස්සේ එළියට එන දේශපාලන සබඳකම් ගැන වෙනම සංවාදයක් ගොඩනැඟෙමින් තිබේ. ඊට අමතරව ඒ අයිස් නිෂ්පාදනයට ගෙන්වූ කන්ටේනර් දෙකක් රේගුවෙන් පිටවීම ගැන ද ප්‍රශ්නයක් මතු වී තිබේ. විපක්ෂ නායක සජිත් ද එය ප්‍රශ්න කර තිබේ. මේවා අනුමාන, සැක සහිත දේවල් බව සැබෑය. එහෙත් ඒ සැක සංකා දුරලීම පාලකයන්ට හැර නොතකා හැරිය නොහැකි වගකීමකි. මේ කුප්‍රකට අයිස් මත්ද්‍රව්‍ය සිදුවීම කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායමක ක්‍රියාන්විතයක් බව පොලිසිය හෙළි කරගෙන ඇත. එසේම එහි එක් කෙළවරක පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලන සබඳතාවයක් ද ඇති බව කියති.

පොදුජන පෙරමුණේ හෙවත් පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් වහාම ක්‍රියාත්මක වී ඒ පක්ෂයට චෝදනා එල්ල වීමට හේතු වූ අයගේ සාමාජිකත්වය අහෝසි කළ බවද මාධ්‍යවල වාර්තා විය. දේශපාලන පක්ෂවල විවිධ චරිත සිටිය හැකි බවට විවාදයක් නැත. එහෙත් මෙරටේ දේශපාලන පක්ෂවලට රිංගාගෙන සිටින කුප්‍රකට චරිත, දූෂිතයන්ට හොරුන්ට ඒවා හොඳ ආරක්ෂක ස්ථාන බවට පත්ව තිබෙන බවද අප කිව යුතුය. මෙතෙක් පාලන බලය හිමිකරගත් ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුළු සන්ධාන මේ ගර්හිත දේශපාලනය වෙනස් කිරීමට කිසිදු පියවරක් ගත්තේ ද නැත. ‘අපේ හොරා අපට හොඳා’ යැයි කියන අමනයෝ ද ඇතැම් පක්ෂවල වූහ. ප්‍රාදේශීය දේශපාලනයට රිංගා ගත් අශිෂ්ටයාට ගම වැනසීමට හැකි විය. ඔහුට නිතරම රැකවරණය දුන් දේශපාලන අමනයන්ට ඊට උඩින් සිට ගැනීමටත් තම ගෝලයන් රැකගැනීමටත් ඉඩ ලැබුණි.

මේ ආණ්ඩුව ඒ අධම දේශපාලනය වෙනස් කරන බවට ජනතාවට සහතික වී සිටියි. සාමාන්‍යයෙන් දැනට තිබෙන තත්ත්වය අනුව නම් මේ ආණ්ඩුවේ දූෂිත මැති ඇමැතිවරු සිටිත්දැයි කිව නොහැක. මෙතෙක් කල් පිළිගත් දේශපාලන වරප්‍රසාද අත්හැරීම ඔවුන්ගේ පිළිවෙත බවද පැවසේ. එය අගය කළ යුත්තකි. එහෙත් විපක්ෂවලින් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇඟිලි දිගු වන බවක් ද පෙනේ. පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලකයන්ට චෝදනා එල්ල වීම ගැන එම පක්ෂයේ ජාතික සංවිධායක දක්වන ප්‍රතිචාරය අප බලාසිටියේ අවධානයකින්ය. ඔහු පවසන්නේ මේ සිද්ධිය දේශපාලනීකරණය කරන්න උත්සාහ දැරුවොත් ඊට ඉඩ නොදෙන බවය. ඔහු තවත් චෝදනාවක් ද නඟයි. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු අය පොලිසියේ ඉහළ පුටුවල සිටින බවකි. එසේම සැකයට තුඩු දුන් කන්ටේනර් තුන්සිය ගණනක් පිටවීම ගැන ඔහු ද මතක් කර තිබුණි. ඔහු ප්‍රශ්න කරන්නේ මේ කියන කන්ටේනර් ඒ ආකාරයෙන්ම පිටවූයේ ද යන්නය. මේවාට පිළිතුරු දියයුත්තේ ආණ්ඩුවේ අදාළ ඇමැතිවරුන් හෝ නිලධාරීන්ය. අද කිසියම් සිද්ධියක් සමාජගත වූ විට ඒ ගැන විවිධ අයුරින් ප්‍රශ්න මතු කරන සමාජ මාධ්‍ය පවා තිබේ. ඇතැම්විට ඒවායේ අරමුණු, සත්‍යවාදී බව ගැන ප්‍රශ්න ද තිබේ. එහෙත් මේවා සාක්ෂි සහිතව ජනතාවට පෙන්වා දීමට ආණ්ඩුවට බාධාවක් නැත.

වෑයේ ඇදය තිබුණත් ලීයේ ඇදය ඇරිය යුත්තේ වෑයෙන්මය. එනිසා දේශපාලනයේ තිබෙන මේ දූෂිත, අශිෂ්ට, ග්‍රාම්‍ය හා වංචනික ක්‍රියාකාරකම් මෙන්ම ඒවා එලෙසම නඩත්තු කරන හොරුන්, තක්කඩියන් දේශපාලනයෙන් එලවා දැමීම ද ඒ දේශපාලන පක්ෂවලටම භාර වූවකි. අද කවුරුත් කතා කරන්නේ වෙනසක් ගැනය. එහෙත් ප්‍රශ්නය වන්නේ ඒ වෙනස තමන් හැර වෙන තැනකින් පටන් ගතයුතු බව ඒ අයම කල්පනා කිරීම නිසාය. බොහෝ දෙනකුගේ ආකල්පය වී ඇත්තේ තමන් හැර අන් හැමකෙනෙක්ම වෙනස් විය යුතු බවය. මෙහිදී අපට සිහිවන්නේ ආඬි හත්දෙනාගේ කැඳ හැළියේ කතාවය. කැඳ හැළියට තමන්ගේ හාල්මිට එකතු නොකිරීම නිසා අන්තිමේ ආඬි රැළටම බීමට ලැබුණේ කැඳක් නොව රත් වූ වතුරය.

දේශපාලනයට ද මේ කතාව අදාළය. දේශපාලනය යනු ආඬින්ගේ අතට පත්විය යුතු දෙයක් නොවිය යුතුය. එහෙත් අපේ දේශපාලනය බොහෝවිට එබඳු ආඬින්ගේ මෙහෙයුම් නොවේදැයි කෙනකුට හැඟී යන්නේ නම් එහි වරදක් ද නැත. පක්ෂයේ කෙනෙක් මොන වරදක් කළත් ඔහුව රැක ගැනීම අද දක්වාම අඛණ්ඩව පැවති කුප්‍රකට දේශපාලන සිරිතකි. පාතාල මැරයන්ට ජනාධිපති සමාව දීමෙන් ප්‍රථම විධායක ජනාධිපතිවරයා බෝ කළ කුප්‍රකට සිරිත පසුව එපුටුවට පත් වූ සමහරු ද අනුගමනය කළහ. විධායක ක්‍රමය හඳුන්වාදුන් ජයවර්ධන නීතියටත් උඩින් සිටගෙන ඕනෑම දෙයක අවසන් විනිශ්චය ලබාදීමේ බලය තමන් වෙත පවරා ගත් ආකාරයෙහි සුළු හෝ සංශෝධනයක් කිරීමට අපේ පසුකාලීනයන්ට අසීරු විය. සෑහෙන පරිශ්‍රමයක් දරමින් ඒ බලය ඉවත් කිරීමට හැකි වුවද තවමත් එහි ඔද තෙද බිඳී ඇතැයි ඉඳුරා කිව නොහැක. එය වෙනම කතාවකි.



කුමක් වුවත් අද වනවිටත් අපේ ප්‍රබලම සමාජ දේශපාලන නිමිත්ත වී තිබෙන්නේත් පාතාලය හා නීතියේ පාලනයට යටත් නොවූ විවිධ ක්‍රියාකාරකම් බව නිසැකය. මේ සතියේ මාධ්‍යවලින් කළ අනාවරණය සත්‍යයක් නම් එකම දිනයේ පැය 6ක් තුළ වෙඩි තැබීම් 4ක් සිදුව ඇත. මෙය පොලිසියට මෙන්ම ඒ සම්බන්ධ ඇමැතිවරයාට ද සමච්චලයකි. මේ වෙඩි තැබීම් සිදුවන්නේ හැංඟි හොරා නොව ජනතාව ද එක් රොක් වන ස්ථානවලය. කිසිදු චකිතයකින් තොරව ඒවා සිදු කිරීමට පාතාලයට මෙන්ම කුලී ඝාතකයන්ට ද හැකි වී තිබේ. එසේම මේ ඝාතන කොන්ත්‍රාත් බොහෝවිට මත්කුඩු ජාවාරම් සමග ඇති වූ නෝක්කාඩු හා කෝන්තර පිරිමසා ගැනීම් බවද පෙනේ. එනිසා පාතාලයේ රජවරුන් යැයි සිතාගෙන නීතිය සමග සෙල්ලම් කරන පාදඩයන් මෙන්ම ඔවුන්ගේ දේශපාලන මිත්‍ර සබඳතාවන් ද හෙළි කිරීමත් ඒවාට නීත්‍යානුකූලව දඬුවම් ලබාදීමත් සිදුකළ යුතුමය.

මෙරටේ වෙඩි තැබීම්, හොරකම්, අපරාධ ඇතුළු නීති විරෝධී කටයුතු වළක්වා ලීමටත් ඒ සම්බන්ධ පොලිසිය නියාමනය කිරීමටත් ඇමැතිවරයෙක් සිටියත් ඒ සියල්ල මැඬලීමට ඔහු අසමත්ය. එයට සාධාරණ හේතු ද තිබිය හැකිය. එසේ වුවත් වගකීම ඒ ඇමැතිවරයාට පැවරේ. ඊළඟට මෙරටේ මරණ වැඩිපුරම සිදුවන්නේ රිය අනතුරුවලින්ය. ප්‍රවාහන කටයුතු භාරව ද ඇමැතිවරයෙක් සිටියි. එහෙත් ඔහුට ඒ හැම දෙයකම වගකීම පැවරීම ද සාධාරණ නැත. ඉකුත් සතියේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් ගත් බස් රියක් අඩි දහසකට නොඅඩු ප්‍රපාතයකට පෙරළී සිදුවූ ඛේදවාචකය තංගල්ල පමණක් නොව, බොහෝ දෙනෙක් හැඬ වූවකි.

මේ මහා ඛේදවාචකයට තුඩුදුන් සිදුවීම් මාලාව පෙළගස්වා බලනවිට එයට ප්‍රධාන හේතුව බව පෙනී යන්නේ වගකීම් විරහිත බවත් නීතියට එරෙහිව ක්‍රියා කිරීම බවත් හෙළි වී තිබේ. ඉතාම කෙටියෙන් කිවහොත් මේ බස්රිය එබඳු දුර ගමනකට සුදුසු නැතැයි කියති. බස් රියැදුරා අධික වේගයෙන් බසය ධාවනය කළ බවද බසයේ තිරිංග අක්‍රිය වූ බවද හෙළි වී තිබේ. වසර දහයකටත් වැඩි කලක් බසය ධාවනය වී ඇත. සාමාන්‍යයෙන් පෞද්ගලික බස් රේස්වලට පුරුදු වූ රටක මගී ජනතාවට ද හැටට හැටේ පාගා යන බස් රියැදුරන් අත්‍යවශ්‍යය. මේ රියැදුරා ද ඒ වර්ගයේ වැඩකාරයෙකැයි සිතිය හැකිය. රූපවාහිනිවලින් දුටු ආකාරයට නම් කෙසඟ සිරුරක් සහිත හේ මේ බස් පතයක් ආම්බාම් කිරීම ද හාස්කමක් වැන්න. දැන් ඔහුගේ ලේ සාම්පලයක් ලබාගෙන පරීක්ෂණයක් කරන බවක් ද වාර්තා වේ. එහෙත් මියගිය ඔහුට නීතිය අදාළ නොවේ.

මේ බස් අනතුරට පසු පොලිසිය ක්‍රියාත්මක වී ඒවායේ තිබෙන අනවශ්‍ය කෑලි ගැලවීමේ මෙහෙයුමක් ද අරඹා තිබේ. තව දින කීපයකින් බස් සංගමයක වෘෂභයෙක් එයට එරෙහිව මාධ්‍ය හමුවක් තබන තෙක් ඒ වැඩේ සිදුවිය හැකිය. අප එසේ කියන්නේ මේ ආණ්ඩුවේ කලින් ඇරඹූ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැනි වැඩසටහනකින් බස් හා ත්‍රිරෝද නියාමනය කිරීමට ගොස් පස්ස බිම ඇනගත් අයුරු මතක් වීම නිසාය. පාසල් හා කාර්යාල වේලාවලදී බර වාහන ධාවනය තහනම් කළ නීතියක් කලකට පෙර ක්‍රියාත්මක විය. එහතේ ඒ නීතිය ගල් කළෝ කවරහු දැයි අපට කිව නොහැක. ඇතැම්විට ඒ වර්ගයේ වැලි, කළුගල් ආදිය ජාවාරම් බවට පත් කරගත් දේශපාලනඥයන්ට පාරවල් ඉඩදී අයිනට වීමට පොලිසියට ද සිදු වූවා විය හැකිය.

මෙයට පෙර කොත්මලේ ප්‍රදේශයේදී බස් රිය අනතුරක් සිදුවිය. ඒ ඛේදවාචකය ගැන සෙවීමට කමිටුවක් පත් කළ බවක් ද සඳහන් විය. සිදුවූ දෙයක් ගැන නම් වාර්තා වී නැත. මේ අනතුරින් පසුව ද ආයෙත් එබඳු විකට රැඟුම් ඉදිරිපත් විය. එක් ආයතනයක ජෙනරාල් නෝනා කෙනෙක් කීවේ සිසුන් පාසල් යන වේලාවට බර වාහන තහනම් කිරීමට යන බවකි. ඒ නීතිය බලාත්මක කිරීමට තව සති දෙක තුනක් ගත විය හැකි බවක් ද කියනු ඇසුණි. ‘අඳෝමැයි මෙහෙම රටක්’ යැයි කියනු හැර වෙන මොනවා කිව යුතුද? රිය අනතුරු සිදුවන්නේ කලින් දැනුම්දීමකින් තොරවය. ඒ බවවත් නොදන්නා නිලධාරීහු ඒ ආයතනවල අදත් සිටිති. නීතිය නැවීමට ඔවුහු ඉතා සමර්ථයහ.

මෙරටේ මගී ප්‍රවාහනය යනු අන්තයටම පිරිහී ගොස් තිබෙන්නකි. පෞද්ගලික බස් සේවය, ලංගම කියා වෙනසක් නැත. ඒවායේ පාලනය ද ඔවුන්ගේමය. පෞද්ගලික බස් රියක ඉතුරු රුපියල් පහ කිසිම දවසක නොලැබේ. ඒ ගැන විමසුමක් කළහොත් දත් නැති කටින් බත් කන්නට ද සිදුවිය හැකිය. ගමන් ගාස්තුව සඳහන් ටිකට් පතක් නොදෙන අවස්ථා ද බොහෝය. ඇතැම් බස් පිටතින් ආලව්වටම් යොදා රියැදුරාගේ අසුනට උඩින් සිව්වරම් දෙවියන්ට අමතරව තවත් විවිධ රූප ද එල්ලා තිබුණත් ඒවායේ මගියාට පහසුකමක් නැත. බස් රිය ලදරමකි. වාහනයකට ධාවනය කළ යුතු දුර පිළිබඳ නියමයක් ඇත. කිලෝමීටර් හෝ සැතපුම් ගණන දක්වා තිබුණත් මෙරටේ ඒ නීතිය නොසැලකේ. මේ අතර කිසියම් පුවත්පතක කතු වැකියක සඳහන් කර තිබුණේ එක්තරා බස් සංගමයක වගකිව යුතු නිලධාරියකු මාධ්‍ය හමුවේ කළ බව සඳහන් ප්‍රකාශයකි. ඒ ප්‍රකාශය කළ නිලධාරියාට අනුව ඒ බිහිසුණු අනතුර සිදුව ඇත්තේ ඔවුන්ගේ සංගමයට අයත් බසයකින් නොවේ. මෙවන් මහා ඛේදවාචකයකට එවන් ප්‍රතිචාරයක් දක්වන නිලධාරියකු අමනයකු නොව අමනයන් අතර සිටින මූග්ධ අමනයකු නොවේද?

මේ වර්ගයේ අය සමග රටක ප්‍රවාහන සේවාවක් ජනතා සුබ සිද්ධියට උචිත ලෙස වෙනස් කර ගැනීම ද ගැටලු සහගතය. එහෙත් රාජකාරිය අප්‍රමාදවම සිදුවිය යුත්තකි. එපමණක් නොව මහාමාර්ගවල නොසැලකිලිමත්ව යන විවිධ යතුරුපැදි හා වෙනත් වාහන රියැදුරන් නිසාද මහපාරක නොව පදික වේදිකාවේ ගමන් කිරීම ද මරුවා සමග වාසයක් වී තිබේ. රිය අනතුරකින් පසු රියැදුරු බලපත්‍ර අත්හිටුවීම අහෝසිකිරීම වැනි නීති රීතිද බලගැන්විය යුතුය. දේශපාලන බලවතුන්ගේ හාමිනේලා හා බාලවයස් දරුවෝද මාර්ග අනතුරු සිදුකරති. ඒ නීතියට බියක් නැති නිසාය. සඳුදා දිවයින (08දා) පත්‍රයෙහි කැලණිය හුනුපිටිය ප්‍රදේශයේ අධික ලෙස මත්පැන් පානය කර රිය පදවා ගැබිනි මවක් ද රෝහල් ගතකර රියැදුරකු ගැන වාර්තා විය. මේ රියැදුරා නිරූපිකාවකගේ සැමියකු බවද සඳහන් විය. පොලිසිය ඔහුව අල්ලාගෙන ඇත්තේද අවට ජනතාවගේ උපකාර නිසා බවද දැක්විණි. කුමක් වුවත් බීමත්ව රිය පැදවීම යනු බලවත්ම වරදකි. මේ අයට අවම වසයෙන් වසරක හෝ රියැදුරු බලපත්‍රය තහනම් කළ යුතු නොවේද?

කෙසේ හෝ මේ වනවිට අපේ ප්‍රධාන පුවත් බවට පත්ව තිබෙන්නේ පොලිසියත් සීඅයිඩීයත් එක්ව පාතාල චක්‍රවර්තිලා ලෙස කුප්‍රකටව සිටින කෙහෙල්බද්දර පත්මෙලාගේ මිද්දෙණියේ අයිස් මත්කුඩු රසායනික ද්‍රව්‍ය සැඟවූ කුඩු වළවල් හැරීමේ ජවනිකාය. එහෙත් අපේ විදේශ ඇමැති විජිත හේරත්ට ජිනීවා නුවර දී මානව හිමිකම් ලොක්කන් විසින් හාරන ලද චෙම්මනී සමූහ මිණීවළ ගැනද තොරතුරු දැනගැනීමට ඉඩ ලැබෙනු ඇත.

මානව හිමිකම් යනු මනුෂ්‍යත්වයට ගරු කරන ශිෂ්ට මිනිස් ප්‍රජාවක් විසින් ගරු කළයුතු වගවිය යුතු චර්යා පද්ධතියකි. එහෙත් ලංකාවේ මානවහිමිකම් ගැන තිබෙන මේ අවධානය ගැන අපට බරපතළ විවේචනයක්ද තිබේ. මානව හිමිකම් උල්ලංඝනය සඳහා මිනුම් දඬු දෙකක් භාවිත කිරීම අපට තිබෙන ප්‍රබලම විරෝධතාවයි. අද මේ සම්බන්ධයෙන් ලෝකයම දක්වන අවධානය අගය කළ යුත්තකි. එහෙත් මානව හිමිකම් කොමිසමේ වෝල්කර් ටර්ක් කාරුණික මහත්මයාණනි, මේ වනවිටත් කිසිදු හව්හරණයක් නැති ගාසා තීරයේ දරුවන් වැසියන් ගැන කිව හැක්කේ කුමක්ද? චෙම්මනි සමූහ වළට වඩා ජීවිතය ඉල්ලා සිටින ඒ පීඩිතයන් ගැන අවධානය යොමු විය යුතු යැයි හැඟෙන්නේ නැද්ද?

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුදමය වසයෙන් පරාජයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වැනසීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන හා දෙමළ ඊළාම්වාදී පිරිස් විසින් දිගින් දිගටම නඟන ලද මානව හිමිකම් කඩවීම් චෝදනාව මෙරටේ බහුතර ජනතාව විසින්ද ඇතැම් දේශපාලන පක්ෂ විසින්ද ප්‍රතික්ෂේප කරන ලද්දකි. මේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට චෝදනා නොමැති වීමද විස්මය දනවන්නකි. මෙරටේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් නැඟෙන බොහෝ චෝදනා පත්‍ර සකස් කර ඇත්තේද ඊළාම් අරමුදල්වලින් යැපෙන අය බවට විවෘත චෝදනාවක්ද වේ. මෙය වෙනම කතා කළ යුතු පුළුල් මාතෘකාවකි.

කුමක් වුවත් වරක් ඇමෙරිකානු බලධාරියකු විසින් ජිනීවා මානව හිමිකම් කොමිසම අසූචි වළකට සමාන කළ බවක්ද අපට මතකය. එපමණක් නොව එදා මෙරටේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකුව සිට ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුනොවූ බවකි. එහෙත් තවමත් ඒ යුද අපරාධ චෝදනා පත්‍රය කර තබාගෙන යන අයුරු දැකගත හැකිය. මේවා ජිනීවා බලධාරීන්ට පෙන්වා දිය යුත්තේ අප නොව ආණ්ඩුවය. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වැනසීම සඳහා ගෙන යන ජාත්‍යන්තර ප්‍රචාරවලට ප්‍රතිචාර දැක්වීම ද අපේ පාලකයන්ගේ වගකීමකි.

Search