ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 1,800ක (බිලියන 18ක්) මුදලක් දැනට වැය කර ඇති මිල්කෝ ආයතනයට අයත් බඩල්ගම පිහිටි කිරි කර්මාන්ත ශාලාවෙන් මේ වන විට එක කිරි බින්දුවක හෝ නිෂ්පාදනයක් සිදු වී නැතැයි අනාවරණය වේ.
මේ කර්මාන්ත ශාලාවේ මූලික ඇස්තමේන්තුව යුරෝ මිලියන 63.9ක් වන අතර මිල්කෝ සමාගම් වෙනුවෙන් රජය එය ණය මුදලක් ලෙස පෞද්ගලික බැංකුවකින් ලබා ගෙන තිබේ.
මිල්කෝ ආයතනයට අයත් බඩල්ගම පිහිටි මෙම කර්මාන්ත ශාලාව 2015 වසරේ දී ඉදිකිරීම් ආරම්භ කළ අතර 2015 – 2022 දක්වා මෙහි ඉදිකිරීම් විවිධ අවස්ථාවලදී සිදු කර 2022 අප්‍රේල් 12 දායින් පසු එම ඉදිකිරීම නවතා දමා ඇතැයි මිල්කෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපති ගෝඨාභය හේමජීව මහතා පැවැසීය.
මෙම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ වර්තමාන තත්ත්වය නීරීක්ෂණය සඳහා පැවැති මාධ්‍ය චාරිකාවකින් පසු සභාපතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බව අනාවරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද කීය.
“මේ කර්මාන්ත ශාලාවේ මේ වන විට සම්පූර්ණයෙන්ම ගොඩනැඟිලි ඉදිකර අවසන්. යන්ත්‍ර සූත්‍රවලින් 95%ක් සවි කරලා අවසන්. සමස්ත ඉදිකිරීම්වලින් 95%කට වඩා මේ වන විට අවසන්. 2022 අප්‍රේල් 12දා සිට මේ ඉදිරිකිරීම් අතරමඟ නැවතුණු නිසා කර්මාන්ත ශාලා භූමිය කැලෑවෙන් වැහිලා. විදුලි සැපයුම් අඩපණ වෙලා. මීයෝ කාලා යන්ත්‍ර සූත්‍ර අඩපණ වෙලා. මේ වෙනුවෙන් රජය මේ දක්වා ගෙවලා තිබෙනවා රුපියල් කෝටි 1,800ක මුදලක්. ඒත් අපිට එක කිරි බින්දුවක්වත් මේ කර්මාන්ත ශාලාවට යොමු කරන්නට, කිරි නිෂ්පාදන හසුරුවන්නට බැරිවෙලා තියෙනවා. මේ කර්මාන්ත ශාලාවේ මූලික ඇස්තමේන්තුව යුරෝ මිලියන 63.9ක්. මිල්කෝ සමාගම් වෙනුවෙන් රජය පෞද්ගලික බැංකුවෙන් ණය මුදලක් ලෙසයි මෙය ලබා ගත්තේ. කිරි ලීටර් ලක්ෂ 2 – 4 දක්වා වැඩි කර ගන්නයි සැලසුම් කර තිබුණේ. ලීටර 70,000 දවසට මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කරන්න පුළුවන්. පැයකට යෝගට් 20,000ක ශක්‍යතාවක් තියෙන යන්ත්‍රයක් මේ කර්මාන්ත ශාලාව සතුයි. අයිස් ක්‍රීම් ලීටර් 25,000ක්, යෝගට් පානය 10,000ක්, යෝගට් ලීටර් 30,000ක් දිනකට නිෂ්පාදනය කළ හැකියි. චීස් කිලෝ 2000කට වඩා නිෂ්පාදනය කළ හැකියි.
2022 වන විට MILK PROCCESING AREAS 97%ක් වැඩ අවසන් කර තිබෙනවා. අයිස් ක්‍රීම් නිෂ්පාදන 95%ක්, ශීතාගාර 97%ක් වැඩ අවසන් කර තිබුණා. සමස්තව වැඩ 95%ක් අවසන් කර තිබිය දී තමයි 2022දී මෙහි ඉදිකිරීම් කටයුතු නවත්වන්නෙ.
මේ වන විට රජය ලෙස යුරෝ මිලියන 57.04ක් කොන්ත්‍රාත් සමාගම සඳහා ණය ගෙවා අවසන්. තව ගෙවන්න තියෙන්නේ සමස්ත ණයෙන් යුරෝ මිලියන 6.89ක්. මේ සමස්ත ණයෙන් රජය ලෙස එක කිරි ලීටරයක්වත් නිෂ්පාදනයක් නොකර යුරෝ මිලියන 30ක් පමණ සමස්ත ණයෙන් රජය ගෙවලා ඉවරයි. අප ණය ගෙන කර්මාන්ත ශාලාවද ඉදිකරලා, කැලෑවට වැවෙන්නට හැරලා. ජනතාවගේ බදු මුදලින් යුරෝ මිලියන 30ක් ගෙවලා.
අපේ රජයට දැඩි අවශ්‍යතාවක් තිබුණා මේ කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක කරන්න. කෘෂිකර්ම, පශු සම්පත් කටයුතු භාර ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතාත් ඒ සඳහා විශාල උත්සාහයක් දරමින් සිටිනවා. කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත මහතා උත්සාහ කරමින් ඉන්නවා. ජනාධිපතිතුමා ඉදිරි අයවැයෙන් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවට සුබවාදී පිළිතුරත් ලබා දුන්නා. අභියෝග කීපයක් තිබෙනවා අපට.
ණය දුන් අදාළ බැංකුව ඉදිරියට මේ ව්‍යාපෘතියේ රැඳෙන්න නැහැ කියා දැනුම් දී තිබෙනවා. මේ නිසා විකල්ප මූල්‍ය සම්පාදනයක් අවශ්‍යයි. මේ සඳහා රජය කටයුතු සම්පාදන කරනු ඇතැයි අපේක්ෂිතයි.
නැවත ඒ අයට සවි කළ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට පත් කරන්න තවත් වියදමක් යනවා. විදුලි පද්ධති, පරිගණක යන්ත්‍ර ක්‍රියාකාරී මට්ටමක තිබිය යුතුයි. බොහෝ යන්ත්‍රවල වගකීම් සහතික කාලය ඉවරයි. ඒ නිසා ඒවා අක්‍රිය වෙලා නම් තවත් මුදලක් වැය වෙනවා මේවා යථා තත්ත්වයට පත් කරන්න. එය අතිරේක වැයක්.
කොන්ත්‍රාත් සමාගම ඉල්ලා තිබෙනවා ප්‍රමාද ගාස්තු ගෙවන්න කියා. අරවුල් නිරවුල් කිරීමේ මණ්ඩලයක් දක්වා මේ ගැටලුව ගිහින් තියනවා. මේ සමාගම ඉල්ලන ප්‍රමාද ගාස්තුව ගෙව්වොත් මේ ඉදිකිරීම් වෙනුවෙන් ඉතිරි මුදලට වඩා ඒ ගාස්තුව ඉහළයි. මේවා ගෙවන්න වෙන්නේ ජනතාවගේ බදු මුදලින්.
මේ සියල්ල සම්බන්ධයෙන් විනිවිද බවින් යුතු විමර්ශනයක් සිදු කරන්න කියා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. එය ආරම්භ කළා. මේ ප්‍රමාදයට වගකියන්න ඕනැ කවුද, වුණේ කුමක්ද කියා කියන්න පුළුවන් මේ විමර්ශන අවසන් වුණාමයි. දළ වශයෙන් කොන්ත්‍රාත් සමාගම දන්වලා තියෙනවා මාස 8-12ක කාලයක් ඉතිරි ඉදිකිරීම නිම කිරීමට යයි කියලා. ලබන වසර අවසානය වන විට මෙය විවෘත කරන්න අදහස් කර තිබෙනවා” යැයිද සභාපතිවරයා කීවේය