සුප්‍රීම් සෙට් හෙළිදරව්වෙන් පසු හරිනිට එරෙහිව පැලවත්තෙන් විශ්වාසභංගයක්..!

සුප්‍රීම් සෙට් හෙළිදරව්වෙන් පසු හරිනිට එරෙහිව පැලවත්තෙන් විශ්වාසභංගයක්..!

රාජපක්ෂ පවුල කෙරෙහි මෙතෙක් දිනක් රට පුරා පැවැති මහජන අප්‍රසාදයට ලොකුම හේතුවක් වූ චිචිගේ රොකට්ටුව පිළිබඳ ඇත්ත එළියට දැමීම හේතුවෙන් ජාතික ජන බලවේගයේ ප්‍රබල සාමාජිකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල විරෝධයක් ගොඩනැගී ඇතැයි පැලවත්ත ආරංචි මාර්ග සඳහන් කරයි.


"ඕකනේ අපි මුලදිම කිව්වේ... අගමැතිකමට ඔය ලිබරල් වාදී කුල්ටූර් කොළඹ ගෑනු හරියන්නේ නැහැ. බිමල්ව හරි විජිතව හරි දාමු කියලා, ඕකට රජයේ මුදල් වියදම් කරලා නැති බව අපට එයා කියන්න ඕනේ නැහැ. ඒක අපි දන්නවා. ඩොලර් මිලියන ගණන් රජයේ මුදල් තම පුතෙකුගේ හීනයක් වෙනුවෙන් මහින්ද නාස්ති කලා කියලා 2015ට කලින් රටේ බොරු ප්‍රවාදයක් හැදුවේ අපිමයි.  ඒ මහින්දට එරෙහි රැල්ලක් නිර්මාණය කරන්න..."

කියමින් සංවාදයට එක් වූ ජවිපෙ දැඩි මතධාරීන් පක්ෂ කාර්යාලය දෙවනත් කළේ අගමැති හරිනිගේ වගකීම් විරහිත හැසිරීම් වෙනුවෙන් හොඳ පාඩමක් ඉගැන්විය යුතු බව යෝජනා කරමිනි.

පැලවත්ත ආරංචි මාර්ග තවදුරටත් පවසන පරිදි ඔවුන්ගේ කෝපය සංසිඳවාලීමට පැලවත්ත කාර්යාලය නියෝජනය කරන ආණ්ඩුවේ නියෝජිතයන්ට දැන් ලොකු පරිශ්‍රමයක් දරන්නට සිදුව ඇත. හරිනිගේ ප්‍රකාශය නිශේධනය කරමින් ඉතා පරිස්සමින් පාර්ලිමේන්තුවට මේ ගැන පිළිතුරක් දෙන්නටත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට යවා විපක්ෂයේ උඩ පනින මන්ත්‍රීවරුන්ට යම් දේශපාලන තරුවටවක් කරන්නටත් පක්ෂ කාර්යාල ප්‍රධානීහු ඒ අනුව තීන්දු කර ඇත.

මෙම යෝජනාවලට අනුව හරිනිගේ කරුණු නිශේධනය කරමින් පරිස්සමෙන් උත්තරයක් දීම බාරගත්තේ පක්ෂයේ "කවන්ධයකු" වූ වසන්ත සමරසිංහයි. ජනාධිපති එදින හවසට පාර්ලිමේන්තුවට ගොස් විශේෂ ප්‍රකාශයක් කරන්නට එකඟ කරවා ගන්නට කාර්යාල ප්‍රධානීන්ට හැකිවී ඇත.

රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ ව්‍යාපාරික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස කලක පටන් සේවය කළ මනිවන්නන් නම් පුද්ගලයෙකුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හඳුනාගෙන හිටියේ දුර පෙනෙන හොඳ ව්‍යවසායකයකු ලෙසටය. ඔහු වරක් ශ්‍රී ලංකාවේ නාමයෙන් චන්ද්‍රිකාවක් ගුවන් ගත කළ හැකි යැයි මහින්දට යෝජනා කළේ සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ ආතර් ශ්‍රී ක්ලාක් මහතා ලංකාවේද පර්යේෂණ කරමින් ලෝක ප්‍රකට සිද්ධාන්තයක් පෘථුලකර, එහි මහානුභාව සම්පන්න ප්‍රතිඵල ලොව පුරා විවිධ පර්යේෂණ ආයතන ක්‍රියාත්මක නොමදව නෙලා ගනිමින් සිටින අවස්ථාවකය. එහෙත් ළිං මැඩියන් සේ කල්පනා කරන්නට පුරුදු වී සිටි මහින්දගේ දුර නොපෙනෙන ගෝල බාල හැත්ත ඊට හිනා වූයේ මනිවන්නන් "හොඳ කේරල රොකට්ටුවක් පානය කර දවල් දකින ලද සිහිනයක්" යයි අර්ථ දක්වමිනි. 

එහෙත් එවකටත් රාජපක්ෂ පවුලේ හොඳ හිතවතෙකු වූ මනිවන්නන් උත්සාහය අත්හළේ නැත. ඊළඟට ඔහු මේ ගැන රාජපක්ෂ පවුලේ නාඹර තරුණ ගැටයින් හා සාකච්ඡා කරන්නට පියවර ගත්තේය. එම හිතුවක්කාර තරුණ ගැටයින් අතර බාලයා වූ පවුලේ හුරතලා චිචී හෙවත් රෝහිත රාජපක්ෂට මේ ගැන ආශාවක් හා විශ්වාසයක් ඇතිවන්නට පටන් ගත්තේ එම විෂය පිළිබඳ කලක පටන් ඔහුගේ ද තිබූ උනන්දුව හා ආකර්ශනය නිසාම වන්නට ඇත.

ඊළඟට මහින්දට දිගින් දිගටම ඇවටිලි පැමිණියේ මනිවන්නන්ගෙන් නොව, පවුලේ හුරතලා වූ චිචීගෙන්ය. චිචී හරහා චිචීගේ අම්මාගෙන්ය. මේ නොනවතින ඇවිටිලි නිසා අවසානයේ මහින්ද එවකට විද්‍යා තාක්ෂණ කටයුතු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ නායකත්වයෙන් කමිටුවක් පත්කර මේ යෝජනාව එම කමිටුව ඉදිරියට පමුණුවන්නට තීරණය කළේය. 

යෝජනාව වූයේ ශ්‍රී ලංකාවේ රජය මූලික වී චන්ද්‍රිකාවක් ගුවනේ කක්ෂගත කරන්නට ශ්‍රී ලංකාවට ඇති අයිතිය පාවිච්චි කරමින් "සන්නිවේදන චන්ද්‍රිකාවක්" අභ්‍යවකාශ ගත කිරීමේ ව්‍යාපෘතියයි. සාම්ප්‍රදායික චින්තනයේ ගොළුබෙල්ලෙකු වූ සුසිල් ප්‍රේම ජයන්ත් ඇමතිවරයා කට කොනකින් සිනහ වී ව්‍යාපෘතිය හමස්පෙට්ටියට ඔබා අවසන් කළේය.

එහෙත් මනිවන්නන් තම මනෝරථය එසේ පහසුවෙන් ලෙහෙසියෙන් පරාජය වන්නට ඉඩ හැරියේ නැත. ඔහු හොඳ වෙට්ටුවක් දමා මෙම යෝජනාව ආයෝජන අවස්ථාවක් ලෙස සිංගප්පූරුවේ හා චීනයේ සිටින තම හිතවතුන් කිහිප දෙනෙකු හා සාකච්ඡා කර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට BOI ව්‍යාපෘතියක් ලෙස නවතාවයෙන් යුතුව යෝජනා කරන්නට සමත් විය. එම යෝජනාවට අනුව ලක් රජය ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිතව කළ යුත්තේ ව්‍යාපෘතිය සඳහා යටිතල පහසුකම් සැලසීමයි. ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කරන්නේ සිංගප්පූරු හා චීන ආයෝජකයින් සමඟ ගිවිසුමකින් ආරම්භ කළ සුප්‍රීම්  ග්ලෝබල් හෝල්ඩින්ග්ස් පුද්ගලික සීමිත ව්‍යාපාරික ආයතනයට අනුබද්ධ සුප්‍රිම් සැට් සමාගමයි. 

අවසානයේ මහින්ද BOI ප්‍රොජෙක්ට් එකකට ලබා දෙන අවස්ථාවක් ලෙස සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් සමාගමට අනුබද්ධිත සුප්‍රීම් සෙට් සමාගමට සන්නිවේදන චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම සඳහා අවස්ථාව ලබා දුන්නේ සතයක්වත් ලංකාවෙන් වියදම් නොකරන, එහෙත් ලංකාවට අයත් ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන්නටය. එහෙත් ඔහු එදාවත් මෙය මේ සා සාර්ථක වනු ඇතැයි ලොකු විශ්වාසයක් තැබුවේ නැති බව නම් පැහැදිලිය.

මනිවන්නන් මෙහිදී හොඳ උපායක් කල්පනා කළේය. සන්නිවේදන චන්ද්‍රිකා හා අජටාකාශගාමය පිළිබඳ උනන්දුවක් ඇති රාජපක්ෂ පවු‍ලේ හුරතලා වූ චිචීට (රෝහිත රාජපක්ෂට) සමාගම තුළ නොවටිනා වටිනාකමක් ලබා දෙමින් හොඳ රැකියාවක් නිර්මාණය කළේය. ඔහු ප්‍රධාන තාක්ෂණ නිලධාරියා(CTO) ලෙස පත් කලාට අමතරව ඔහුව අධ්‍යක්ෂ මණ්ඩලය වෙතද ඇතුලත් කරගත්තේය. ඒ ඔහු තුළින් රජයේ වරප්‍රසාද වාසි හා පහසුකම් රැසක් ද ඒ තුළින් ලබාගත හැකි බව දන්නා නිසාය.

ශ්‍රී ලංකාවට ඉහළ අභ්‍යවකාශයේ ලංකාව වෙනුවෙන් යම් සන්නිවේදන තාක්ෂණික මෙවලමක් ස්ථානගත කිරීමට ජාත්‍යන්තරය වෙනම ඉඩකඩක් වෙන්කර ඇති බවත් ලංකාවට ඒ ඉඩකඩ පාවිච්චි කළ හැකි බවත් මනිවන්නන් ලංකාවේ නාමයෙන් ඒ ඉඩකඩ අදාල මව් සමාගම වෙනුවෙන් වෙන් කරගන්නා තුරුම මහින්දලා දැන සිටියේ නැත. මහින්දලා තබා එම තාක්ෂණය පිළිබඳ දැන උගත් කිසිවෙකුටද ඒ වන විට අවබෝධයක් නොවීය.

ව්‍යාපෘතියට වියදම් කළේ අදාල චීන හා සිංගප්පූරු ව්‍යවසායකයන් නිසාත් ලක් රජය අදාළ භූමිය හා අනෙකුත් යටිතල පහසුකම් සපයා දීම නිසාත් ව්‍යාපෘතිය සාර්ථක විය. සන්නිවේදන චන්ද්‍රිකාව ගුවන් ගතකර හරිනි අගමැතිතුමිය කියන පරිදිම 2015 අගෝස්තු 27 වන දා සිටම එහි වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.

තිස් අවුරුදු යුද්ධය නිමවා, රට වටා මාර්ග පද්ධතියක් නිමවා, උතුරු නැගෙනහිර පළාත්වල පාලම් බෝක්කු පාසැල් හා නිවාස ඉදිකිරීම් නිමවා අධිවේගී මාවත් ගුවන් පාලම් වරායවල් ගුවන් තොටුපළවල් නිමවා රටේ යටිතල පහසුකම් පද්ධතිය සූදානම් කරමින් රට සාමාන්‍යකරණය කරමින් මහින්දලා මේ ලෑස්ති වන්නේ දේශපාලන වශයෙන් හොඳකට නොවන බව  ජනතා විමුක්ති පෙරමුණු මෙහෙයුම් කාර්යාලය හොඳ හැටි තේරුම් ගත්තේය. මහින්දට එම යුගයේ තිබුණු ලොකුම සවිය හා ලොකුම ශක්තිය පුළුල් මහජන ආදරය හා කීර්තිය ඔහුවටා "හේලෝ දහරාවක්" මෙන් ආවරණය වී තිබීමයි. 

එහෙත් ඒ හා සමානවම මහින්ද වටා දැඩි දුර්වල කමක්ද දැකගත හැකි විය. ඒ වූ කලී මහින්ද වටා එම අවස්ථාව වන විට කූඨ ව්‍යාපාරිකයන්, අවස්ථාවාදීන්, දූෂිත දේශපාලඥයන්, දූෂිත නිලධාරීන් අසාමාන්‍ය සංඛ්‍යාවක් ඒකරාශී වී සිටීමය. ජවිපෙ මූලස්ථානයටමහින්ද වටා ගොඩනැගී තිබුණු කීර්ති කදම්බය හා මහජන ආකර්ෂණය බිඳ දමන්නට ඔහු වටා වූ මේ ව්‍යාපාරික දූෂිත දේශපාලනඥ, අවස්ථාවාදී දූෂිත නිලධාරී කදම්බයම ප්‍රමාණවත් විය.

2015 විප්ලවය සැලසුම් කළ  ජවිපෙ මූලස්ථාන කාර්යාලය ඉතා මැනවින් නිර්මාණය කර සූදානම් කළ සිය ගනන් මඩ ව්‍යාපෘති අතරේ එක් ප්‍රබලම මඩ ව්‍යාපෘතියක් වූයේ චිචීගේ සුප්‍රිම් සැට් රොකට්ටු ව්‍යාපෘතියයි. හරිනිලා ඇතුළු මාලිමාවේ ලිබරල්වාදීන් මේ ගැන දැන නොසිටියාට පැලවත්ත ජවිපෙ කාර්යාලය හා ව්‍යාපෘතිය සමඟ ගොනුවී සිටි සියලු දෙස් විදෙස් බලවේග චිචීගේ රොකට්ටුව පිළිබඳ "ඇත්ත කතාව" එම මඩ ව්‍යාපෘතිය මුල පටන්ම දැන සිටියහ.

2015 දී මහින්දගේ කීර්ති කදම්බය බිඳින්නට හා මහින්ද පරාජය කර බලයට එන්නට දේශපාලන අවස්ථාවාදීන් රැසක්ම දැන හෝ නොදැන ජවිපෙ අන්තවාදීන් හා පෙළ ගැසී සිටියහ. මහින්ද ළඟම සිට මහින්දට මහරජා යයි විරුදාවලි ගොඩනැගූ මෛත්‍රීපාල සිරිසේන, මහින්ද අනුර බණ්ඩාරනායකගේ මිත්‍රයෙකු වූ දා පටන් මහින්දට වෛර කළ චන්ද්‍රිකා, මහින්දගේ ජාතිකවාදී කඳවුර බිඳ දමන්නට දිවාරැයේ සැලසුම් කළ රනිල්, තමන් කූඩාරමක් හදන්නේ නැතිව ඕනෑම කූඩාරමකට රිංගා එහි බලය අල්ලන ඔටුවාගේ න්‍යාය මනාව දැන සිටි චම්පික, මහින්දගේ ජාතිවාදී කඳවුරට රටේ බලය හිමිවීම වළකන්නට සමාජ සංස්කෘතික අරගලය මෙහෙයවූ පාක්‍යසෝතිලා වැනි රාජ්‍ය නොවන සංවිධාන, හොඳ දේශපාලන යටිඋගුල් අටවන්නකු වූ තිලංග, අඟේ සිට කණ කන්නෙකු වූ එස්. බී. මෙන්ම මෙවන් විවිධ විෂම එකිනෙකා ගැලපෙන්නේ නැති ඕනෑම කණ්ඩායමක් ඒකරාශී කරගෙන තනි ව්‍යාපෘතියක් සාර්ථකව දියත් කළ හැකි ශූර සංවිධායකයකු වූ මංගල ආදී සියල්ලෝම එක්වී අවසානයේ මහින්ද පරාජය කිරීමට කල්යල් බලා රටේ ක්‍රියාවට නැංවූයේ ජවිපෙ ව්‍යාපෘතියයි. 

පැලවත්ත ව්‍යාපෘතිය එදා අති සාර්ථක වුවත් මහින්ද කඳවුරෙන් රනිල් - අනුර - චන්ද්‍රිකා - සිරිසේන එකමුතුවට රටේ බලය හුවමාරු වූවත් එතැනින් එහාට එය තමන්ගේ සැලසුම පරිදි ක්‍රියාත්මක කිරීමට ජවිපයට නොහැකි වූයේ අවසානයේ එදා මහින්ද වටා සිටි අවස්ථාවාදී ව්‍යාපාරික, දූෂිත දේශපාලනඥ, දූෂිත නිලධාරී පැලැන්තියම මහින්ද අතහැර රනිල් වටා ගොනු වී කඳවුරු බැදගන්නට පටන් ගැනීම නිසාය. රනිල් මේ දූෂිත නිලධාරීන් අතරින් භයානකම සතුන් ටික තම ආණ්ඩුවේ බල පුළුවන් කාර තනතුරු වල ස්ථාපිත කරනු ලැබීය. ඒ අනුව රවි  විද්‍යාලංකාරලා රවී සෙනවිරත්නලා ශානි අබේසේකරලා වැනි බරපතල ඇරියස් කාරයෝද බරගණනාවකි. රනිල් ඔවුන්ව ස්ථාපිත කළේ ජවිපෙ නායකයින් තමන්ගේ අනුගාමිකයින්ව ස්ථාපිත කර තම පැලවත්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට සැලසුම් කර තිබූ මර්මස්ස්ථානවලය. එහෙත් ජවිපෙ නායකයෝ සටන අතඇරියේ නැත. එම අවස්ථාවේ ඉතා සූක්‍ෂම ලෙස කල්පනා කළ ජවිපෙ නායකයෝ බලලුන් ලව්වා කොස් ඇට බෑවීමේ න්‍යාය ක්‍රියාත්මක කරන්නට සැලසුම් කළේ රනිල් හරහා අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබද්ධිතව දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පිහිටුවීමේ ව්‍යාපෘතිය අතට ගනිමිනි. 

දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ වැඩකටයුතු සූක්ෂම වූහ. ඉතාමත් සැලසුම් සහගත වූහ. මහින්ද පාලනය සමග ඇරියස් ඇති සියලු බලවේග ඒකරාශී කර ගනිමින් දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සකස් වූයේ සිරිසේනලා, චන්ද්‍රිකාලා, රනිල්ලා, එස් බීලා පාක්‍යසෝතිලා, වැලියමුනලා, චම්පිකලා, තිලංගලා, රතන හිමිලා, කාදිනල්ලා, ආදි මහින්දගේ ජාතිකවාදී කඳවුරට එරෙහි සියලු බලවේග සන්තෘප්ත කරවනා අන්දමටය. එහෙත් ඒ සියලු ව්‍යාපෘති තමන්ට වුවමනා අන්දමටම ක්‍රියාත්මක කරගන්නට හේතු කාරණා දෙකක් නිසා පැලවත්ත කාර්යාලයට නොහැකි විය. 

එකක් ඒ වන විට මහින්ද වටා ස්ථානගතව සිටි හොරු සියල්ලෝම පාහේ පැමිණ රනිල්ගේ දේශපාලන රැකවරණය ලබමින් ඔහුට සේවය කරමින් සිටීමය.

දෙවැන්න රනිල් අගමැති ලෙස බලය අතට ගත්කල අනුරලාගේ ආධිපත්‍යය ආණ්ඩුව තුළ පතුරවනවාට වඩා රනිල් වටා සිටි සාගලලාගේ අකිලලාගේ වජිරලාගේ ව්‍යාපෘති බලවත් වී සිටීමය.

ඒ වන විට දූෂණ විරෝධී ලේකම්  කාර්යාලයේ මහා බලවතා වූයේ අනුරු කුමාර දිසානායකය. ඔහු වෙනුවට එහි පරිපාලන කටයුතු ඉටුසිදු කළේ වත්මන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආනන්ද විජයපාල මහතාය. මෙය ඉතා සූක්ෂම සැලසුමකට අනුව ක්‍රියාත්මක කරන්නට සූදානම් කර තිබූ ව්‍යාපෘතියකි.

 පහුගිය (මහින්ද) ආණ්ඩුවේ අල්ලස් දූෂණ අක්‍රමිකතා ගැන දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට පැමිණිලි කරන්නේ මහජනතාවය. මහජනතාව වෙනුවෙන් මාධ්‍ය පිරිවරාගෙන දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට ෆයිල් පිටින් අපරාධ ගෙන එන කණ්ඩායම් දෙක තුනක්ම සිටියහ. එක් කණ්ඩායමක් මෙහෙය වූයේ දූෂණ විරෝධී පෙරමුණ යටතේ වසන්ත සමරසිංහය. මහින්දගේ ජාතිකවාදී පෙරමුණට සහාය දුන් නිලධාරීන්ට දේශපාලනඥයන්ට හා ව්‍යාපාරිකයන්ට එරෙහිව කල් තියා සැලසුම් කළ චෝදනා ඇතුළත් ලිපි ගොනුරාශියක් ඒ වන විටත් සූදානම් කර තිබිණි. උපයුක්ත මාතෘකාව වන සුප්‍රිම් සැට් රොකට්ටුව පිළිබඳ මාතෘකාවද දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට ඒ ආකාරයට පැමිණි ලිපිගොනුවකි.

දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට මහජන පැමිණිලි ගෙන ආ අනිත් බලවේගය වූයේ රන්ජන් රාමනායක ඇතුළු කණ්ඩායමයි. ඔහුද ඒ කටයුත්ත නොමද මාධ්‍ය අනුග්‍රහයක් ලැබගෙන ඉතා සාර්ථකව කරනු ලැබූ බව අපට මතකය.

දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට පැමිණිලි ගෙනා තවත් පාර්ශවයක් වූයේ චම්පික රණවක ඇතුළු කහ සිවුරු හා සුදු සලුපිළි පෙරවාගෙන සිටි විකල්ප ජාතිකවාදී කඳවුරයි. නිශාන්ත වර්ණසිංහ එය නියෝජනය කරමින් රූපවාහිනී කැමරා පිරිවර මැදින් දවසකට එක ගමනක්වත්  දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට ලිපි ගොණුවක් රැගෙන ගිය ආකාරය මහජනයාට අමතක නැතුව ඇත. ඒ හැරුණ විට පොදුවේ මහජනතාවටද මෙතනට පැමිණි ගොනු කිරීමට විවෘත හැකියාවක් ලබාදී තිබිණි.

මෙවන් පැමිණිලි ලිපිගොනු පැමිණි පසු ලේකම් කාර්යාලයේ ඒවා පිළිබඳ පරීක්ෂණ පවත්වන්නටත් කමිටුවක් සිටියහ. අනුර කුමාර නිරතුරුව ඒ කමිටුවේ වාඩි වූයේය. ඒ හැරුණු විට චණ්ද්‍රකා කුමාරතුංග, රාජිත සේනාරත්න, චම්පික රණවක, ආදී අපි දන්නා ඇරියස්කාරයෝ රාශියක්ම එම කමිටුවේ අසුන් ගත්හ. සැලසුම් කරන ලද ලිපිගොනු දූෂණ විරෝධී ලේකම් කාර්යාලය වෙත පැමිණි පසු ඒවා විමසා බලා වැඩිදුර පරීක්ෂණ සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හෝ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලබන්නේ ලේකම් කාර්යාලයේ එම කමිටුවයි. එතනින් පසු රවි විද්‍යාලංකාරලා රවී සෙනෙවිරත්නලා හා ෂානි අබේසේකරලා ඒ වැඩේ කරගෙන ගියහ.

එහෙත් ඒ වන විට මහින්දලාගේ ආණ්ඩුවේ සිට එකී ලිපිගොනු වලට වගකිව යුත්තන් ලෙස කැපී පෙනෙන දේශපාලනඥයන් නිලධාරීන් හා අවස්ථාවාදී ව්‍යාපාරිකයන් සිටියේ රනිල්ගේ සාක්කුවේය. එම නිසා ජවිපෙ අපේක්ෂා කළ අන්දමේ ප්‍රතිඵල මේ දූෂණ විරෝධී කමිටු හරහා ලබා ගන්නට ජවිපයට නොහැකි වූහ. මන්ද ඒ වන විට දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ අවශ්‍ය මූල්‍ය හා යටිතල පහසුකම් සලසමින් සිටියේ අග්‍රාමාත්‍ය ලේකම් කාරයාලය හරහා රනිල් වික්‍රමසිංහය.

සැබැවින්ම යහපාලන ආණ්ඩුව පිහිටුවාගෙන සිරිසේන ජනාධිපතිතුමා ජීවග්‍රාහයෙන් දේශපාලන අත්අඩංගුවට ගෙන තමන්ගේ පැලවත්ත න්‍යාය පත්‍රය ක්‍රියාවට නගන්නට අනුර කුමාරලාට නොහැකි වූයේ අනුරලාට වඩා වේගයෙන් රනිල් ක්‍රියාත්මක වී ජනාධිපති සිරිසේන ඔහුගේ අන්තේවාසිකයෙක් කරගත් නිසාය.

සුප්‍රීම් සැට්, ඇවන්ගාඩ් වැනි ව්‍යාපෘති ඉතා සුළු සංඛ්‍යාවකට එරෙහිව කරන ලද පරීක්ෂණ ව්‍යාපෘති සාර්ථක වුවද මහින්දලාගේ ජාතිවාදී කඳවුර දණ ගැස්සවීමේ මුළු ව්‍යාපෘතියම සැලසුම් කළ පරිදි ක්‍රියාවට නගන්නට අනුරලා අපොහොසත් වූහ. ඇවන්ගාඩ් වැනි ව්‍යාපෘති දඬුකඳේ ගසන්නට එක පැත්තකින් ශානිලා රවි සෙනෙවිරත්නලා කොතරම් දැල් එලූවත් ඒ දැල් සිදුරු කර තම හිතවතුන්ට ඒවා අස්සෙන් රිංගා යන්නට අවස්ථාව සැලසූ වජිර අබේවර්ධනලා වැනි දේශපාලනඥයින් එම කමිටුවලම බලවත්ව සිටියහ.

එබැවින් පැලවත්ත කාර්යාලයේ "A ව්‍යාපෘතිය" අසාර්ථක විය. තාජුඩින් සිද්ධි, ඩේසියාච්චිගේ මැණික් මලු සිද්දි, සුප්‍රිම් සැට් සිද්ධි, සුදු කොඩි සිද්ධි, යුධ අපරාධ සිද්ධි, කැරම් බෝඩ් සිද්දි,  සුදු රෙදි බෙදීම් සිද්ධි, වැනි ලිපිගොනු සිය ගණනක් සාර්ථක ලෙස පරීක්ෂණ පටන් ගන්නට දූෂණ විරෝධී ව්‍යාපෘතිය සමත් වුවත් මහින්දලාගේ කඳවුර දණ ගස්සවන්නටතරම් පරීක්ෂණ ඉදිරිපත් කර වේගවත් කරන්නට පැලවත්ත කාර්යාලයේ සැලසුම් අති සාර්ථක වූයේ නැත.

ඇරත් ඉන්පසුව කරළියට ආවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වටා ගොනුවී සිටි කල්ලි කණ්ඩායම්වල වීර වික්‍රමාන්විත ක්‍රියාකලාපයයි. මහදවල් බින්දේ යැයි කියන මහ බැංකු සිද්ධියම ඊට ප්‍රමාණවත්ය. අන්තිමේ සිරිසේනට සිදු වූයේ බලය අතට ගෙන දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ සටකපට ව්‍යාපෘති ආණ්ඩු මට්ටු කරන්නට පමණක් නොව, ඒ සියල්ල අතෙහි තබාගෙන හිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ බලවේගය පරාජයට පත් කර කොල්ලු පිටිය පස් වැනි පටුමග තෙක්ම පසු බස්සවන්නටය...

එහිදී සූක්‍ෂමලෙස මෙපමණ කලක් දුකට සැපට දෙකටම සිටි ලෙන්ගතු මිත්‍රයා රනිල් වික්‍රමසිංහ අතහැර දමන්නට අනුර දිසානායකට සිදුවිය. ඒ ව්‍යාපෘතියේ සැලසුම් අසාර්ථක වූ තැන පටන් අනුර - ටිල්වින් ප්‍රමුඛ පැලවත්ත කාරයාලය සැලසුම් කලේ ඔවුන්ගේ "B" ව්‍යාපෘතිය ක්‍රියාවට නගන්නටය. 

"B" ව්‍යාපෘතිය අයිට වඩා බෙහෙවින් සැලසුම් සහගත බව මෙමගින් නොව, වෙනම ලිපියකින් කරුණු දැක්විය යුතුය.  B ව්‍යාපෘතිය ඔවුන් ක්‍රියාවට නැගුවේ ලෝක බලවතුන් එක් පාර්ශවයක් පමණක් නොව, ලෝකයේ සිටින මහා බලවතුන් පාර්ශ්ව දෙක තුනකම සහාය එක විට ලබාගෙනය. මහින්දගේ ජාතිකවාදී කඳවුර පරාජය කිරීමේ ලෝක පරිමාණ අභිලාෂය මොනතරම් ප්‍රබලදයි මේ තුළින් අර්ථ ගැන්විය හැකිය.

B ව්‍යාපෘතිය තුළ ජවිපය කරළියට ආවේ සිය පරණ හැව හැර අලුත් මුහුණුවරක් ඇතිවය. පෙනුමෙන් පමණක් නොව, අභ්‍යන්තර අර්ථයෙන්ම එය අලුත් එකක් මෙන් පෙන්වන්නට ඔවුන්ට අවශ්‍ය වූහ. එය කරලියට ආවේ ජාතික ජන බලවේගය හෙවත් මාලිමාවේ මුහුණුවර පෙරදැරිවය. 

ජනතා විමුක්ති පෙරමුණට ආශක්ත විය නොහැකි නොයෙකුත් ජන බල මුළු හා සමාජ සංවිධාන හා සමාජ කණ්ඩායම් ජාතික ජන බලවේගී කූඩාරම ඇතුළට ගන්නටට තරම් අනුරලාගේ සූක්ෂ්ම සැලසුම් අති සාර්ථක වූහ. 

එම බල තුලනයේදී මහින්දලා රනිල්ලා සිරිසේනලා චම්පිකලා සජිත් ලා විමල්ලා ආදී සියල්ලෝම වැටුනේ සමාජ දේශපාලන තුලාවේ එක් පැත්තකටය. ජාතික ජනබල වේගය ලෙස තුලාවේ අනිත් පැත්තේ ගොනුවූ සමාජ දේශපාලන සංස්කෘතික ප්‍රපංචය  වඩාත් බරසාර විය. 

තුලාවේ එක් පැත්තක් වෙන් වෙන්ව කඳවුරක් ලෙස පැලවත්ත කාර්යාලයේ ව්‍යාපෘති හා සටන් වැදුණත් අවසානයේ ජයග්‍රහණය ලැබුවේ මහා බලවතුන්ගේ පවා අනුග්‍රහය ලබාගෙන මහ පොළොව පතුලෙන් නැගුණුබල වේගයක් සේම නැගී සිටි ජාතික ජන බලවේගයේ මහා ප්‍රවාහයයි.... තවත් ආකාරයකින් කිවහොත් ජාතික ජන බලවේගය ලෙස පෙරමුණට ආ පැලවත්ත කාර්යාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාපෘතියයි.

එම පාර්ශ්ව දෙකේ සටන තුළ මහින්දවාදී රාජපක්ෂ බලවේගය ඇතුළු කණ්ඩායම පරාජයට පත් කරන්නට ජනතා විමුක්ති පෙරමුණට වාසියට හේතු වූ හොඳම මල්ටි බැරල් ආයුධය වූයේ රාජපක්ෂලා ජනතා මුදල් කාබාසිනියා කළ හොරු බවට 2014 වසරේ පමණ සිටමමේ රටේ බහුතර පොදු ජනතාවගේ සිත් සතන් තුළ ගැඹුරුම හද පතුලේ සූක්‍ෂම ලෙස තැන්පත් කළ සැකයේ මූල බීජයයි.

ඒ සැකයේ මූල බීජය මුල් දළු ළා ටිකෙන් ටික පැළවී අතු ඉති විදහා වර්ධනය වන්නට පටන් ගත්තේය. අද එය මහා වෘක්ෂයක් ව අතු පතර විහිදා අවසන්ය. පැලවත්ත කාර්යාලය නිර්මාණය කළ රාජපක්ෂලාට එරෙහි චෝදනා ඒ මහා වෘක්ෂයේ අතු පතු වැනිය. එ්වා පාමුළ රාජපක්ෂලාට යළි නැගී සිටින්නට කිසිදු ඉඩකඩක් නැත්තේය. මහා ගස් සෙවනේ පුංචි පුංචි ගස් පැල නොවන සොබාදහමේ ධර්මතාව ආකාරයටය. එහෙත් හරිනි අමරසූරියලා මේ එකින් එක කප කපා සිඳ දමන්නේ ඒ මහා ව්‍යාජයේ වෘක්ෂයේ අතුපතර නොවේද. කප කපා සිඳ දමන්නේ මහත් වැර වෑයමෙන් මේ රටේ ජනතාවගේ සිත් පතුලේ රෝපණය කළ රාජපක්ෂලා පිළිබඳ ජනතා වෛරය නොවේද.  ඉවත් කරන්නේ එම වෘක්ෂය පාමුල රාජපක්ෂලාගේ සමාජ දේශපාලන බීජ රෝපණය වීමට පවතින බාධාවන් නොවේද...

ජනතා විමුක්ති පෙරමුණේ මහා බලවේගය හා ජාතික ජන බලවේගයේ වත්මන් ක්‍රියාකාරීත්වය අතර පරස්පරය එයයි.


පන්ථක ⁣රණසිංහ.

Search