කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත හිටපු වැටුප් ලිපිකාරිණියක් සහ ඊට සම්බන්ධ රියදුරකු කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය 45 හැවිරිදි කළුතර, බෝමුවල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, රියදුරා 54 හැවිරිදි වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ, මාසිකව රුපියල් ලක්ෂ තුනත් හතරත් අතර මුදලක් මෙම සැකකාරිය විසින් ඉතා සූක්ෂ්ම ලෙස ඇයගේ සහ රියදුරුගේ ගිණුම්වලට බැර කරගෙන ඇති බව මේ වනවිට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
මෙම වංචාව හෙළිවීමත් සමඟම, ආයතන මට්ටමින් සැකකාර සේවකයන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති අතර, කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම් එරංග දේවපුර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි
කළුතර ප්‍රාදේශීය සභාවේ රු. කෝටි ගණනක වංචාවක්
