අනවසර ඉදිකිරීම් බහුලවීම හේතුවෙන් සීගිරිය, ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ දැඩි අවදානමක් පවතින බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ආරක්ෂිත කලාපයේ දැනට පවතින ඉදිකිරීම් සම්බන්ධයෙන් නීති රීති ක්‍රියාත්මක වෙමින් සාකච්ඡා මට්ටමින් පවතින නමුත් අලුතින් ඉදිකිරීම් සිදු කළහොත් ඊට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව මධ්‍යම පළාත් පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විරාජ් බාලසූරිය පැවසීය.
එමෙන්ම ඓතිහාසික ලෝක උරුම සීගිරි පව්වේ පිට දිය අගල සිට සංවේදී යාර දෙසීයේ කලාපය සහ රක්ෂිත යාර හාරසීය කලාපයේ මින් ඉදිරියට කිසිදු ඉදිකිරීමක් සිදු කිරීමෙන් වළකින ලෙසද මධ්‍යම පළාත් පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මහජනතාවට දැනුම් දෙයි.
දැනට ඇති අනවසර ඉදිකිරීම් සියල්ල අදියරෙන් අදියර ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කොට තිබෙන බවද හෙතෙම කීවේය.
මේ වන විට සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට එහි සුන්දරත්වය මනස්කාන්ත පරිසර දසුන දිනෙන් දින දෙනෙතින් ඈත් වෙමින් විවිධ ඉදිකිරීම්වල දසුන් දක්නට ලැබීම අනාගත පරපුරට බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙමින් පවතින බවද හෙතෙම කීවේය.
මෙම බරපතළ ප්‍රශ්නය පිළිබඳව සීගිරිය ප්‍රදේශවාසීන් සහ ස්වේච්ඡා සංවිධාන සමග සාකච්ඡා කොට සීගිරි පුරවරය පොලිතීන් ප්ලාස්ටික්වලින් තොර කලාපයක් බවට පත්කිරීම මෙන්ම සීගිරිය පව්ව ආසන්නයේ ඇති වැව පිළිසකර කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා රාජ්‍ය ආයතන රැසක් සමග සම්මුතින් කිහිපයකට එළැඹ තිබෙන බවද ඔහු සඳහන් කළේය
සීගිරිය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් වෙයිද
