ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමග හිරු රූපවාහිනියේ ‘ඇත්ත’ දේශපාලන සංවාදය පසුගිය 21 වැනිදා පැවැත්විණි. එහිදී රටේ දේශපාලන ගමන, ජනාධිපති ධුරය, දූෂණ විරෝධී සටන, පළාත් පාලන ආයතන සහ මාධ්‍ය නිදහස ඇතුළු කරුණු රාශියක් සාකච්ඡා විය. රාජපක්ෂ මහතා එහිදී පැවැසුවේ තමන් කිසිදු දිනෙක තරගකාරී දේශපාලනයට පිවිස නැති බවත්, ලැබුණු ආරාධනා මත රටේ අවශ්‍යතාව පරිදි වගකීම් භාරගත් බවත්ය. පහත පළවන්නේ එම වැඩසටහනෙන් උපුටා ගත් කොටසකි. Sri Lanka Latest News
විජයදාස රාජපක්ෂ දැන් වැඩිය පේන්නත් නැහැ. ඔබ දේශපාලනයෙන් සමුඅරගෙනද?
මම කවදත් අවශ්‍ය ප්‍රමාණයට විතරයි පෙනීසිටියේ. අවශ්‍ය අවස්ථාවලදී පෙනී හිටිනවා. අනිත් අවස්ථාවලදී මගේ කටයුතුවල මම නිහඬව යෙදෙනවා. මම දේශපාලනයට කවදාවත් තරගකාරී විදිහට ඇවිල්ලා නැහැ. හැම අවස්ථාවකම මට ලැබිච්ච ආරාධනා අනුව මම බාර අරගෙන තියෙනවා වගකීම. ඔබට මතක ඇති 2020 මැතිවරණෙත් මම ජයග්‍රහණය කරත් තනතුරු බාර ගත්තේ නැහැ. හැබැයි දිගින් දිගටම ආරාධනා ලැබුණු නිසා රට බංකොලොත් වෙලා රට ආපහු ගොඩගන්න ඕනෙ නිසා බාරගත්තා. ඒ නිසා මගේ දේශපාලන කටයුතු මගේ අවශ්‍යතාව අනුව සිද්ධ වෙන දෙයක් නෙවෙයි රටේ අවශ්‍යතාව අනුව සිදුවන දෙයක්.
විජයදාස රාජපක්ෂට චෝදනාවක් තියෙනවා. ඔබට නමක් පටබැඳලා තියෙනවා ‘ඩීල් දාස’ කියලා. එහෙම කියන්න හේතුව තමයි ඔබ ආණ්ඩු ගණනාවක, කැබිනට් ගණනාවක එහෙට මෙහෙට මාරු වෙනවා. එහෙම එහෙට මෙහෙට මාරු වුණේ ඔබතුමාට වරදාන වරප්‍රසාද, එහෙම නැත්නම් අත යට ගනුදෙනු ලැබුණු නිසාද?
මිනිස්සු දේශපාලන ඊරිසියාවට, වෛරයට එහෙම කියනවා. දැන් මිනිස්සු විපක්ෂයේ ඉඳලා ආණ්ඩු පක්ෂයට යන්නේ මොනවටද? ලාභ ප්‍රයෝජනයක් ගන්න. තනතුරු ගන්න. වරප්‍රසාද ගන්න. මම කවදාවත් විපක්ෂයක ඉඳලා ආණ්ඩු පක්ෂයකට ගිහින් තියෙනවද? ආණ්ඩු පක්ෂයක ඉඳලා විපක්ෂයට යනකොට වරප්‍රසාද ලැබෙනවද?
ඊළඟ ආණ්ඩුව හදනකොට?
ඊළඟ ආණ්ඩුව හදනකොට ඒ ආණ්ඩුවේ අපිට ගැළපෙන විදිහේ ආණ්ඩුවක් හැදුවා නම් තනතුරු භාර ගන්නවා. නැත්නම් ඒත් භාර ගන්නේ නැහැ.
විජයදාස රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිපත්තිය මොකක්ද? කවුරු හරි කතා කරාම ඔහු වෙනුවෙන් යන එකද? ප්‍රතිපත්තියක් තියෙනවා නම්, ඔබ ඉන්න ඕනේ ඒ ප්‍රතිපත්තියේ. නමුත් ප්‍රතිපත්තියක් තියෙන බව පේන්නේ නැහැනේ?
මම ඒකට හරිම උත්තරේ දෙන්නම්. ඔබ මට කියන්න, ලංකාවේ පහුගිය අවුරුදු 25 ඇතුළත ප්‍රතිපත්තියක් තිබුණු දේශපාලන නායකයෙක් හරි පක්ෂයක් හරි කියන්න.
මට ඒ කවුරුවත් වැඩක් නැහැ. මට වැදගත් ඔබ. ඔබනේ මගේ ඉදිරියේ ඉන්නේ. මම අහන්නේ ඔබගේ ප්‍රතිපත්තිය?
මගේ ප්‍රතිපත්තිය තමයි හරි දේ. මොන දේශපාලන පක්ෂයේ හිටියත්, මොකද මගේ ප්‍රතිපත්තියට ගැළපෙන දේශපාලන පක්ෂයක් මේ රටේ තිබුණේ නැහැ. හැබැයි අපිට දේශපාලන පක්ෂයක් නැතුව දේශපාලනය කරන්න බැහැ. එතකොට කුමන ආණ්ඩුවේ හිටියත් මම හරි දේට හරියි කිව්වා. කරන්න පුළුවන් දේ කළා. එකඟ වෙන්න බැරි තැන අයින් වුණා, එක්කෝ අයින් කරවා ගත්තා.
දැන් මේ වර්තමාන ආණ්ඩුව ඉතාම හොඳට නීතිය ක්‍රියාත්මක කරන බවයි සමහරු කියන්නේ. අල්ලස් කොමිසම සක්‍රියව වැඩ කරනවා. අපි කවදාවත් හිතපු නැති අය සිර ගෙවල්වලට යනවා. සමහරුන්ට දඬුවම් නියම කරන්න කටයුතු කරමින් තිබෙනවා. තවත් අය ඉදිරියේදී සිර ගෙදරට යන්න නියමිතයි කියලා කියනවා. මොකද හිතන්නේ? ඔබතුමන්ලට කරන්න බැරිවුණු දේවල් මේ මාලිමා ආණ්ඩුව කරනවා නේද?
ඇත්තටම මේකේ අවශ්‍ය ටික කළේ අපි.
ඔබතුමන්ලා?
ඇයි පුදුමයක් මොකක්ද?
ඉතින් ඔබතුමන්ලා කළා නම් අපි දැක්කේ නෑනේ ඒ කාලේ මේ වගේ දඬුවම් දෙන දේවල්?
ඉන්නකෝ, මම කියලා දෙන්නම් එහෙනම්. අපි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියේ සාමාජිකයෙක් විදිහට අත්සන් කරේ චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිනිය විදිහට ඉන්න කාලේ 2004. හැබැයි 2015 මම අධිකරණ ඇමැතිවරයා වෙනකම් ඒ ගිවිසුමට ප්‍රකාරව දේශීය වශයෙන් සම්මත කරන්න ඕනෙ නීතිය හැදුවේ නෑ කවුරුත්. 2015 මම ඒ නීතිය කෙටුම්පත් කිරීම ආරම්භ කරා කමිටුවක් පත්කරගෙන. ජනාධිපති නීතිඥ, හිටපු අතිරේක සොලිසිටර් ජෙනරල් සරත් ජයමාන්න මහත්මයාගේ සභාපතිත්වයෙන් තමයි කමිටුව පත්කළේ. ඒ කෙටුම්පත හදාගෙන ඉවර වේගෙන එනකොට 2017 අගෝස්තු මාසේ මාව ඇමැති ධුරයෙන් ඉවත් කළා. ඒක එතන නතර වුණා.
ඊට පස්සේ 2022 මැයි මාසේ අපි ආණ්ඩුව භාර ගත්තට පස්සේ, පැය 24ක් ඇතුළත මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය.
ඒ තරම් උනන්දුවක් ආවේ ඇයි?
උනන්දුවක් ආවේ, මොකද අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රටේ දූෂණය, වංචාව වළක්වන්න සකස් කරපු නීති පද්ධතිය සම්පූර්ණයෙන්ම යටපත් කිරීමක්නේ 20න් කළේ. ඒක නිසා ඉස්සෙල්ලා නීතිමය බාධා ඉවත් කරගන්න ඕනේ, මේ රටේ යහපාලනය ඇති කරන්න. දූෂණය නැති කරන්න ඕනෙ නම්, ඒ නීති රාමුව හදාගන්න එපැයි.
එතකොට ඒ නීති රාමුව මම පැය 24ක් ඇතුළත හදලා දුන්නා. ඒ වගේම සතියක් ඇතුළත මම අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ගත්තා, දූෂණ විරෝධී පනත මේ නැවත වතාවක් කෙටුම්පත අධ්‍යයනය කරලා හැකි ඉක්මනින් ඉදිරිපත් කරන්න. එතකොට අපි 21 වැනි සංශෝධනය සම්මත කළා. 19 සහ 21න් වංචාවට, දූෂණයට විරුද්ධව අලුත්ම කොමිෂන් දෙකක් අපි නිර්මාණය කළා. එකක් තමයි ප්‍රසම්පාදන කොමිෂන් සභාව. අනිත් එක තමයි රාජ්‍ය, ජාතික විගණන කොමිෂන් සභාව. ඒ දෙකෙන් තමයි විශේෂයෙන්ම ඔය වංචා දූෂණ වළක්වාගන්න මූලික අඩිතාලම දාන්න පුළුවන් ඒ දෙකෙන්. එතකොට විගණනයෙන් හොයන්න පුළුවන්, ප්‍රසම්පාදන එකෙන් නවත්තන්න පුළුවන්. ඒ එක්කම මේ දූෂණ විරෝධී පනත අපි හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. පනත් පනත් 90කට වැඩි ගානක් සම්මත කළා ඒ කාලය තුළ.
ඔබ කියන්නේ අල්ලස් කොමිසමද?
ඔව් අල්ලස් හෝ දූෂණ කොමිසම. පරිපාලන කටයුතු තිබුණේ රාජ්‍ය පරිපාලනයෙන්. ඊළඟට විමර්ශන කටයුතු සම්බන්ධව ඒගොල්ලෝ පොලීසියෙන් තමයි ඉල්ලීම් කරලා, තාවකාලිකව නිලධාරියා අරන්, ඒ වගේ ක්‍රමවේදය තිබුණේ. එතකොට අල්ලස් අධ්‍යක්ෂ ජනරාල්ට ස්වාධීනතාවක් තිබුණේ නැහැ. එතකොට ඒකත් ස්වාධීන තනතුරක් විදිහට හදලා, අපි ඒක සම්මත කළා. ඒ වගේම, ඒකට අපි ඇතුළු කළා, පෞද්ගලික අංශයේ අල්ලස්, ඒ වගේම ලිංගික අල්ලස්, ක්‍රීඩා කටයුතුවලට අදාළ අල්ලස්. අද නීති විශාරදයෝ පිළිගන්නවා ආසියාවේ තිබෙන සාර්ථකම සහ හොඳම අල්ලස් විරෝධී පනත තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා. ඉතින් ඒක අපි තමයි හැදුවේ.
එතකොට වත්මන් ආණ්ඩුව මේ අල්ලස් කොමිසම ඉතාම සක්‍රියව ක්‍රියාත්මක කරමින් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ ඔබතුමන්ලා ඒක හදපු නිසාද?
අපි හැදුවේ නැත්නම්, ඒගොල්ලෝ කොහොමද ඕක කරන්නේ? කලින් තිබුණ කොමිසම තිබුණා නම් කරන්න පුළුවන්ද? අපි ඒ කටයුතු ටික කරලා තිබුණේ නැත්නම් මේ ආණ්ඩුවට හැරෙන්නවත් බැහැ.
ඔබතුමා හදන්නේ මේ ආණ්ඩුවට යන ගෞරවය මේ ඔබතුමාගේ පැත්තට පෙරළගන්නද?
නෑ. එතන ගෞරව දෙකක් තියෙනවනේ. එකක් නීතිය හදපු, හැදීමේ ගෞරවය. අනිත් එක නීතිය ක්‍රියාත්මක කිරීමේ ගෞරවය.
ඔබතුමන්ලා නීතිය හැදුවට, නීතිය ක්‍රියාත්මක කළේ නෑ. මොකද දේශපාලන සම්බන්ධකම් ඔබතුමන්ලට වැඩියි. ළබැඳියාවන් වැඩියි. මාලිමා රජයට එහෙම නෑ. ඒ නිසා ඔවුන් කාටත් එකසේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලයි සමහරු කියන්නේ?
මට දේශපාලන ළබැඳියාවන් තියෙනවා නම්, මේ දේශපාලන පක්ෂ දෙකෙන්ම මට ගහයිද?
ඔබට නෙමෙයි, ඔබ නියෝජනය කරපු ඒ ආණ්ඩුවේ ප්‍රධානියා රනිල් වික්‍රමසිංහ මහත්මයාට පවා?
නෑ, ඒක මම නියෝජනය කළා තමයි. නමුත්, එකක් මතක තියාගන්න ඕනෙ, මම ඒ ආණ්ඩු නියෝජනය කළාට, ඒ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන, මගේ තනි ස්වාධීනතාවක් තියාගෙන තමයි මම කටයුතු කළේ.
අපි දකිනවා, මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා, නලින් ප්‍රනාන්දු මහත්මයා, දැන් මර්වින් සිල්වා මහත්මයාත් ඉන්නවා. කෙහෙළිය රඹුක්වැල්ල මහත්මයාට මුළු පවුල පිටින්ම මේ සිර ගෙදරට යනවා, ඇප ගන්නවා, එළියට එනවා. මේ දේවල් මෙහෙම වෙයි කියලා ඔබ හිතුවද?
මම හිතුවා, නීතිය ක්‍රියාත්මක කළොත් මේ දේවල් වෙයි කියලා. ඉතින් මට කියන්න බැහැ ඒගොල්ලෝ ඇත්තටම වැරදිකාරයෝද නැද්ද කියලා. ඒක අධිකරණ තීන්දුවක්.
හැබැයි ඔබතුමන්ලත් එක්ක එකට කටයුතු කරපු දේශපාලඥයෝ ඔය?
කමක් නෑ ඉතින්.
එහෙම පෝලිමේ යනකොට මොකද හිතෙන්නේ ඔබට?
කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමා හිරභාරයට ගත්තේ අපිත් එක්ක එක කැබිනට් එකේ ඉන්නැද්දී. ඉතින් ඒකෙන් පේනවානේ අපේ කාලෙත් අපි නීතිය ක්‍රියාත්මක කරයි කියලා.
මේ ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශයක් කරනවා, අපේ මාලිමා රජය නොතිබුණා නම්, මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා, මේ ආකාරයෙන් දඬුවම් දෙනවා, ඕවා දකින්න ලැබෙන එකක් නැහැ කියලා. ඒක ඔහුගේ පෞද්ගලික මතය කියලත් ඔහු කියනවා. අධිකරණ ඇමැතිවරයා ඒ කරපු ප්‍රකාශය ගැන, හිටපු අධිකරණ ඇමැතිවරයා විදිහට ඔබ හිතන්නේ මොකක්ද?
ඇත්තටම ඒක අධිකරණයට ගහපු කම්මුල් පහරක්. ඒක අධිකරණ ඇමැතිවරයකුට නොවටිනා දෙයක්. ඒක මගේ මතය පෞද්ගලිකව. හේතුව, ඒ කීමෙන් ජනතාවට දුන්න පණිවුඩය තමයි, මේ ලංකාවේ හිටපු සියලු විනිශ්චයකාරවරු, මේ ආණ්ඩුව එනකල් දේශපාලනයට යටත් වෙලා, අපක්ෂපාතීව කටයුතු නොකරපු, දේශපාලනයට යම් නැඹුරුවක් තියෙන, ඒ කියන්නේ දේශපාලනයට බියක් දක්වන, ස්වාධීනව කටයුතු නොකරපු විනිශ්චකාරවරු. ඒගොල්ලෝ සියලු දෙනා එකපාරටම ස්වාධීන විනිශ්යචකාරවරු බවට පත්වුණා, මේ ආණ්ඩුව පිහිටුවපු දවසේ ඉඳලා. එහෙම නම් මේ ආණ්ඩුව පිහිටුවන්න දවසට දක්වා තිබුණු අධිකරණ මේ රටේ, එක පැත්තකින් කියන්නේ, ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණය සාර්ථකව ඉටුකළේ නැහැ කියන එකනේ.
සරලවම මම අහනවා නම්, අධිකරණයට කරපු අපහාසයක්ද ඒක?
ඇත්තටම අපහාසයක් ඒක.
ඔහු කරපු ඒ ප්‍රකාශයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද එහෙම නම්?
ගන්න පුළුවන්.
ඔබතුමන්ලාට වුණත් පුළුවන්ද?
පුළුවන්.
ඇයි ඉතින් නොගෙන ඉන්නේ?
නෑ, ඉතින් මම ඕකට පෞද්ගලිකව සම්බන්ධ වෙන්න ගියහම, ඊට පස්සේ හිතන්නේ අපේ දේශපාලන වෛරයක්, ඉරිසියාවක් තියෙනවා කියලනේ මම හිටපු අධිකරණ ඇමැති විදිහට. ඒ නිසා මම නෙවෙයි, රටේ පුරවැසියන්ට අවශ්‍ය නම් ඒ පියවර ගන්න පුළුවන්.
ජනාධිපති සමාව ලබාදෙනවා සිරකරුවන්ට විශේෂ දිනවල, වෙසක් දවසට, නිදහස් දවසට, නත්තලට, ඔය ආකාරයෙන්. මේ ජනාධිපති සමාවට මුවාවෙලා, ඒ ජනාධිපතිවරයා කියපු නැති කෙනෙක්, ජනාධිපති සමාව පිට නිදහස් කරලා ඇරලා තියෙනවා. ඔබතුමා මේ ඇමැති ධුරය දරපු කෙනෙක්. මොකක්ද මෙතැන වෙලා තියෙන්නේ?
මම ඉන්න කාලෙත් ඕකේ නිර්ණායක මම හැදුවා. ඇත්තටම ජනාධිපතිතුමාට නෙමෙයි මේකේ වගකීම තියෙන්නේ අධිකරණ අමාත්‍යාංශයට. ජනාධිපතිතුමා, අපි කියන දේ විශ්වාස කරනවා මිසක්, ජනාධිපතිතුමාට හොයන්න පුළුවන්ද මේ පුද්ගලයෝ එක්කෙනා එක්කෙනා මේ හිර ගෙදර ඉන්න අය? ඉස්සෙල්ලම කරන්නේ, අපි නිර්ණායකයක් හදනවා. ඒ නිර්ණායකය හදලා ජනාධිපතිතුමාට යවනවා. ඊට පස්සේ ජනාධිපතිතුමා නිර්ණායකය අනුමත කරාට පස්සේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට අපි දෙනවා, මෙන්න මේ නිර්ණායකයට ගැනෙන සිරකරුවන්ගේ ලැයිස්තු හදන්න කියලා. එතකොට ඒ නිර්ණායකයට, මගේ මතක හැටියට මම කියන්නම්, අපි ඇතුළු කරනවා, වෙනත් වැරදිවලට වැරදිකරුවන් නොවුණු. වෙනත් නඩු නොපවතින. අහවල් අහවල් වැරදිවලට වැරදිකරුවන් නොවුණු, ඒ කියන්නේ මිනීමැරුම්, ස්ත්‍රී දූෂණය, මුදල් විශුද්ධිකරණය වගේ බරපතළ චෝදනා ඇති අයව මේකට අයිති වෙන්නේ නැහැ. කෙටියෙන් ගත්තොත් සුළු වැරදි. සුළු වැරදි කරපු අයට ඔවුන්ගේ නියමිත කාලයෙන් 50%ක් සිර ගෙදර ගෙවලා ඉවර නම්, මාස හයක එක්කෙනාගේ මාස තුනක් ඉවර නම්, ඉතුරු කාලය අහෝසි කරනවා. ඕක තමයි පොදු සමාව කියලා කියන්නේ.
නමුත් මෙවර ගැටලුවක් ඇතිවෙච්ච හැටිත් මම කියන්නම්. මේ ගැටලුව ඇතිවෙලා තියෙන්නේ, මෙවර අධිකරණ අමාත්‍යාංශය ජනාධිපතිතුමාට යවපු නිර්දේශයේ ඒගොල්ලන් ඇතුළු කරලා නැහැ, දැන් වෙනත් වැරදි තියෙන අය, ඒ කියන්නේ දඩේ ගෙවාගන්න බැරි අය ඉන්නවා නම්, දඩේ ගෙවන්න බැරිකමට හිරේ දාපු අය ඉන්නවා නම්, එළියට දාන්න කියලා තියෙනවා. හැබැයි ඒකට කොන්දේසියක් විදිහට නිර්ණායකය ඇතුළු කරලා නැහැ. ඔහුට වෙනත් නඩු තියෙනවා නම් එළියට දාන්න බැහැ කියන එක. එහෙම නැත්නම් ඔහු තවත් නඩුවකට වැරදිකාරයා වෙලා තියෙනවා නම් දාන්න බැහැ.
අද හුඟක් ලොකු ගණන්නේ දඩ. එදා වගේ නෙවෙයිනේ. ඒ නිසා මේකට සීමාවක් දාන්න ඕනෙ, රුපියල් ලක්ෂයකට හෝ නැත්නම් ලක්ෂ පහකට, කුමක් හෝ සාධාරණයි කියන ගානකට, අඩු දඩයක් ගෙවාගන්න බැරි හේතුව මත සිරගත වෙලා තියෙනවා නම් ඔහුව නිදහස් කරන්න කියලා.
අදාළ පුද්ගලයාගේ දඩය ලක්ෂ 20ක්. ඔහුට තව නඩු ගණනාවක් තියෙනවා. ඉතින් කොතනද වැරැද්ද වෙලා තියෙන්නේ? අධිකරණ අමාත්‍යාංශය, ජනාධිපතිතුමාට හදපු නිර්දේශය තුළ නිදහස් කළ යුතු පුද්ගලයන්ගේ ලැයිස්තුව දෙනකොට නිකන්ම දෙවැනි වගන්තියක් දැම්මා දඩ ගෙවාගන්න බැරුව සිරගත වෙලා ඉන්න කෙනෙක් කියලා. එතැනයි වැරැද්ද වෙලා තියෙන්නේ.
ඔබ කියන ආකාරයට අධිකරණ අමාත්‍යාංශයටද මේකට වග කියන්න ඕනේ?
අධිකරණ අමාත්‍යාංශයට තමයි වග කියන්න ඕනේ. මොකද ජනාධිපතිට තමයි තියෙන්නේ වගකීම. හැබැයි ඉතින්, ජනාධිපතිවරු කටයුතු කරන්නේ අමාත්‍යාංශයෙන් දෙන උපදෙස් මත සහ නිර්ණායක මත.
අපි දකින්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ව සිරභාරයට අරගෙන තියෙනවා. ඊට අමතරව අනුරාධපුරයේ බන්ධනාගාර එක්කෙනා. මේ බන්ධනාගාර නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි අපිට පේන්නේ?
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මේ පිළිබඳ ඇතිවෙන ගැටලුව අමාත්‍යාංශයට ලියලා තියෙනවා කල් ඇතුව. ඊට අමතරව ඔහු බන්ධනාගාර 28ම අධිකාරිවරුන්ට දෙවතාවක් ලියලා තියෙනවා, චක්‍රලේඛ, නැත්නම් සර්කියුලර්ස් විදිහට යවලා තියෙනවා මේ වතාවේ නම නැති කිසි කෙනෙක් එළියට දාන්න එපා කියලා. එතකොට, ඔහුගේ පැත්තෙන් ඔහු කරන්න ඕනෙ දේ කරලා ඉවරයි.
ඒ කියන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැරැද්දක් කරලා නැහැ ඔබ කියන්නේ?
වෙන්න බැහැනේ. ඉතින් එයා පැහැදිලිව යවලා තියෙනවා ක්‍රමවේදය හරි වුණත්, වැරදි වුණත්, නම නැති කෙනෙක් එළියට දාන්න එපා කියලා. ඔය කියපු ක්‍රමයට අනුගත වෙන්න කියන එක කියලා තියෙනවනේ.
නමුත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන බවක් අපිට පේන්නේ?
මම දන්නේ නැහැ ඉතින් අධිකරණය තීරණය කරන්න ඕනෙ. මේ මම සොයාගත් කරුණු අනුව ඔන්න ඔය සිද්ධිය තමයි වෙලා තියෙන්නේ.
අධිකරණ ඇමැතිවරයා මේ සඳහා වගකිව යුතු නැද්ද?
මෙහෙමයි, මම නඩු අහන්නේ නැහැනේ.
ඔබ කියනවනේ අධිකරණ අමාත්‍යාංශය වග කියන්න ඕනේ කියලා? ඒ කියන්නේ ඇමැති වග කිය යුතු නැද්ද?
මම පුද්ගලයෙකුට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මම අවුරුදු පහක විතර කාලයක් ඔය කටයුත්ත කළා. ඇමැතිවරයයි ලේකම්වරයයි තමයි එකතු වෙලා මේ කටයුත්ත කරන්නේ. අපි තමයි තීන්දු කරන්නේ, කොමසාරිස් ජනරලුත් ගෙනල්ලා, අපි තමයි තීන්දු කරන්නේ මේ සැරේ මොනවද අපි දෙන නිර්ණායක කියලා. ඒක තමයි ජනාධිපතිතුමා අනුමත කරන්නේ. අපේ කාලේ කවදාවත් ජනාධිපතිවරයෙක් ප්‍රශ්න කරලා නැහැ.
ඇත්තටම කාගේ හෝ මේ වැරදි උපදෙස් මත ආණ්ඩුව නොමග ගියා කියන කාරණය මට බොහොම පැහැදිලියි. ආණ්ඩුව මීට වැඩිය නිහතමානී වෙලා, ඇත්ත වශයෙන් වෙච්ච දේ සිද්ධිය හොයලා බලලා, හරි තීරණ ගන්න එක හොඳයි. රටටත් හොඳයි, ආණ්ඩුවටත් හොඳයි. නැත්නම් මේක නරක පූර්වාදර්ශයක් වගේම, නීතියේ ආධිපත්‍ය කෙරෙහි ජනතාවට තියෙන විශ්වාසය බිඳවැටීමක් වෙනවා.
අපි දකිනවා මේ වෙනකොට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන කාර්යභාරය සිද්ධ වෙනවා. සභාපතිවරු කුසපත් ඇදලා තෝරනවා, රහස් ඡන්දයෙන් තෝරනවා, විවෘත ඡන්දයෙන් තෝරනවා. කොමසාරිස්වරු මේ කටයුත්ත හරියට කරන්නේ නැහැ කියලා කියනවා. විශේෂයෙන්ම කොළඹ මහා නගර සභාවේ, මේ මොකක්ද මේ අලකලංචිය?
ඒකට පුදුම වෙන්න දෙයක් නැහැ. එහෙම නොවෙනවා නම් තමයි අපි පුදුම වෙන්න ඕනේ. හේතුව, මේ මැතිවරණ ක්‍රමය 2017 ගේන වෙලාවේ මම කියන්න පුළුවන් හැම විදිහටම, අපි කිව්වා මේ අපරාධය රටට කරන්න එපා කියලා. මොකද මේකෙන් මහා විකෘතියක් වෙනවා. මේ මැතිවරණ ක්‍රමය තුළ සියලු දෙනා අමාරුවේ වැටිලා ඉන්නේ. දැන් ඡන්දේ තියලා සති හයකටත් වැඩියිනේ. තාම සභාවක් පිහිටුවාගන්න බැහැනේ. ඉතුරු අවුරුදු හතරෙන් ඉතුරු ටිකේ මොනවද මේගොල්ලෝ කරන්නේ? මෙලෝ දෙයක් කරන්නේ නැහැ.
වැරැද්ද තියෙන්නේ පනතෙද?
පනතේ වැරැද්ද.
ඇයි මේ ආණ්ඩුව මේ පනත නිවැරදි කරලා මැතිවරණයට ගියේ නැත්තේ? මේ ආණ්ඩුවට බලය තියෙනවා?
බලය තියෙනවා. මොකද මේකෙ සත්‍යම කරුණු රටට කියන්න ඕනේ. 2017 ඔය පනත හදලා ඉදිරිපත් කරපු වෙලාවේ, අවසානාවකට, මම දිගින් දිගටම ආයාචනා කරා මේක කරන්න එපා කියලා. හැබැයි ඒ වෙලාවේ, අවසානාවකට එවක පොදු විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහත්මයා, එතකොට මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් මහත්මයා, රිෂාඩ් බදුර්දීන් මහත්මයා, ද්‍රවිඩ සන්ධානයේ සුමන්තිරන් මහත්මයා, ජවිපෙ අනුර කුමාර, විජිත හේරත් මහත්මයාලා මේ ඔක්කොම එකට එකට එකතු වෙලා මේක හොඳයි කියලා අත ඉස්සුවා. සම්මත කරගත්තා. හැබැයි ඒගොල්ලෝ බැලුවේ වෙන අර්ථයකින්. මේක ආවොත්, අපිට තමයි මල්ල පිරෙන්නේ. කුඩා පක්ෂවලට. ඒ කියන්නේ කුඩා පක්ෂවලට ලොකු වාසියක් මේකෙන් එන නිසා, ඒගොල්ලන් සහායෝගය දුන්නා. ඊට පස්සේ මේකට එල්ලෙන මන්ත්‍රී කියලා ක්‍රමයකුත් ඔය හිටපු සභාපතිතුමා යෝජනා කරලා, ඒකකුත් දැම්මා.
දැන් දාලා, හාරදාස් ගානක් හිටපු මන්ත්‍රීලා සංඛ්‍යාව 8,800ක් විතර වගේ දක්වා වැඩි වුණා. හුඟක් තැන්වල ඉඳගන්න ආසනවත් නැහැ. එහෙමත් වැඩි කරලා, දැන් කොට්ඨාස 25ක් තියෙනවා නම්, තවත් 25ක් විතර වගේ පිටිනුත් දානවා. දැන් ඕක බෙදද්දී, විශාල ප්‍රශ්න, මේ කාන්තා නියෝජනයද, තරුණ නියෝජනයද කියලා පුදුම අවුල්සහගත තත්ත්වයක් හදලා තියෙනවා. ඊළඟට, සභාපතිලා තෝරන එක. සභාපතිලා තෝරන්න මේක යටතේ අපිට මාධ්‍යයේ පෙනෙන්න තිබෙන විකාරරූපී ක්‍රමවේද, ටොස් එක දාන ඒවා වගේ මේ ඔක්කොම අවුල් මේ නීතියෙන්නේ හදලා තියෙන්නේ. ඉතින් මම ඇමැතිවරයා විදිහට කැබිනට් මණ්ඩලයටත් මේක ඉදිරිපත් කළා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. නමුත් ඒ විෂය භාර අමාත්‍යවරු ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කළේ නැහැ. ඇත්තටම පැරණි ගම්සභා ක්‍රමය තමයි ලංකාවේ තිබුණු හොඳම පළාත් පාලන ක්‍රමය.
කාලයක් තිස්සේ සාකච්ඡා කරන කාරණයක් තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි කියන කාරණය. මේ ආණ්ඩුව බලයට එද්දී ඒ බලාපොරොත්තුව දුන්නා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරනවා කියලා. සමහරු කියනවා ආණ්ඩුව ඒක අමතක කරලා කටයුතු කරනවා වගේ පේනවා කියලා?
අද අපේ රටේ දේශපාලනය ගැන ජේ.ආර්. ජයවර්ධන එදත් දැක්කා. ඒක නිසා ඔහු තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය හැදුවේ 78 ව්‍යවස්ථාවෙන්. ඔහු කිව්වා අනාගතයේ මොකා ඔතෙන්ට ආවත්, මේක නම් අහෝසි කරන්නේ නැහැ කියලා. දැන් බලන්න, 94, අපි ඒ වේදිකාවල හිටියා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට 62%ක් ඡන්ද දුන්නේ මේ රටට සාපයක් වෙලා තිබෙන විධායක ජනාධිපති ක්‍රමය මාස හයෙන් අහෝසි කරනවා කියලා. ඒකෙන් සතුටට පත්වෙච්ච ජවිපෙ, අපේක්ෂකයා ඉල්ලා අස් වුණා නන්දන ගුණතිලක. ඒකේ බලතල අඩු කරනවායි කිව්වා. අවලංගු කරනවායි කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්මයාත් වරින් වර දළදා මාලිගාව ඉස්සරහටත් ගිහිල්ලා කිව්වා මේ ධුරය අහෝසි කරනවා කියලා. නමුත් කවුරුත් කරන්නේ නැහැ. හැබැයි ටිකක් හරි නිර්ලෝභීව, ඒක අපේ බලපෑම උඩ තමයි අපි ඉදිරිපත් කරපු 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අපි හුඟක් අඩු කළා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එකඟ කරගෙන අවුරුදු හය අවුරුදු පහ දක්වා අඩු කළා, බලතල හුඟක් අඩු කරා. ජනාධිපතිගේ තීන්දුවලට විරුද්ධව එදා අධිකරණවලට යන්න බැහැ. නමුත් ඒකට අපි ක්‍රමවේදයක් හැදුවා යහපාලන ආණ්ඩුව කාලේ.
ඔබ කියන ආකාරයෙන් අනුර කුමාර දිසානායක මහත්මයාත් එසේ නම්, විධායක ජනාධිපති ධුරය අවලංගු කරන එකක් නැද්ද?
කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන්. නමුත් මට විශ්වාසයක් නැහැ එහෙම කරයි කියලා. මොකද ඕකට ගිය කවුරුවත් ඕක කළේ නැති නිසා. මෛත්‍රීපාල මහත්තයා පවා අපි ඒ වෙලාවේ එකඟ කරගත්තේ, දේශපාලන පක්ෂයක් හරහා නෙමෙයි එතුමා ආවේ. ඔහුව ස්වාධීනව අපි ගෙනාවේ එක්සත් ජාතික පක්ෂය හරහා.
හැබැයි මම නම්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට විරුද්ධයි.
Hiru News යූටියුබ් නාලිකාවෙනි
අනුරාධපුරයේ සියකරුවන් නිදහස් කිරීමේ සත්‍ය කතාව විජයදාස හෙළි කරයි
